Connect with us

පුවත්

CIIE ෂැංහයිහිදී ඇරඹෙයි; පළමු කතාව ජනපති රනිල්ගෙන්! (වීඩියෝ)

Published

on

පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) හෙට (05) සිට ලබන බ්‍රහස්පතින්දා (10) දක්වා ෂැංහයි හි පැවැත්වීමට සියල්ල සූදානම්කර තිබේ.

අද (04) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා විසින් සිදුකළ විශේෂ කතාවෙන් පසුව එම ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කෙරිණි.

කෙසේවුවද, මෙවර චීන ජනපතිවරයාගේ කථාව සිදුකරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

වසර 2018 දී ආරම්භ කරන ලද CIIE හි ප්‍රධාන දේශනය එය ආරම්භ කළ දා සිට හැම වසරකදීම චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා විසින් සිදු කිරීම විශේෂිතය. 

මෙහි තවත් විශේෂත්වයක් වූයේ චීන ජනපතිවරයාගේ කථාවෙන් පසුව විදෙස් රාජ්‍ය ප්‍රධානීන් සඳහා ලබාදෙන කථාවන්හි පළමු අවස්ථාව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමය.

චීන නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා ගැන ජනපති බලාපොරොත්තු දල්වයි

එහිදී වික්‍රමසිංහ මහතා මෙම ප්‍රදර්ශනය බොහෝ රටවල් සහ ව්‍යාපාරවලට චීන ජනතාවගේ වැඩෙන පරිභෝජන රුචිකත්වයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ඉඩ ලැබෙන අවස්ථාවක් බවත්, ශ්‍රී ලංකාව එයට ආරම්භයේ සිටම සහභාගිවන බවද කීය.

එම සහභාගීත්වය තුළින් ලාංකික ව්‍යාපාර විශාල ප්‍රතිලාභ ලබා ඇතැයි ද ඔහු කීය.

මෙරට කර්මාන්ත සඳහා චීන වෙළඳපොළ තුළ ස්ථාවර වීමට ඉන්  අවස්ථාව සලසා දී ඇති බවත්, චීන ශ්‍රී ලංකා නව සබඳතා ආරම්භ වූයේ රබර් – සහල් ගිවිසුම හරහා බවත්, එම ගිවිසුමට මේ වසරේදී වසර  70 ක් පිරුණු බවද ඔහු කීය.

එතැන් පටන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, ආරක්ෂක සහ සෞඛ්‍ය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවකට ව්‍යාප්ත වී ඇතැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

2021 දී දෙරට අතර මුළු වෙළඳාමේ පරිමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් බවත් කී හෙතෙම චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීමට ඉඩකඩ ඇතැයි ද පැවසීය.

“චීනය ව්‍යාපාර සඳහා විවෘතයි” 

චීනයේ උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම, විවෘත කිරීම පුළුල් කිරීම සහ ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වන වාතාවරණයක් නිර්මාණය මෙහි අරමුණයි.

මෙම වසරේ CIIE ජාත්‍යන්තරය සඳහා “I” වෙත විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ.

එය සමාගම් හරහා වැඩි කාර්මික අංශයන් නියෝජනය වන පරිදි සෙසුවසරවලට වඩා විශාල කර ඇතැයි පැවසේ.

“චීනය ව්‍යාපාර සඳහා විවෘතයි” යනුවෙන් නම්කර තිබේ.

චීනයේ වාණිජ අමාත්‍යාංශය සහ ෂැංහයි නාගරික මහජන රජය විසින් මෙම ප්‍රදර්ශනයේ සම සත්කාරකත්වය දරණු ලබයි.

එය සංවිධානය කරනු ලබන්නේ චීන ජාත්‍යන්තර ආනයන අපනයන කාර්යංශය (Organized by China International Import Expo Bureau) සහ ෂැංහයි හි ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන පෞද්ගලික සමාගම (National Exhibition and Convention Center (Shanghai) Co., Ltd.) විසින් සංවිධානය කරන ලදී.

කැළුම් ශිවන්ත ෂැංහයි හි සිට..

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved