Connect with us

පුවත්

TIFA 14 වැනි කවුන්සිල රැස්වීම කොළඹදී පැවැත්වේ

Published

on

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි (TIFA) 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කේ.ජේ. වීරසිංහ මහතා සහ ඇමරිකානු පාර්ශ්වයෙන් දකුණු සහ මධ්‍යම ආසියාවෙහි  ඇමරිකානු එක්සත් ජාතීන්ගේ වැඩබලන සහකාර වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා (Mr. Brendan Lynch, Acting Assistant United States Trade Representative for South and Central Asia) විසින් තාක්ෂණික මට්ටමේ රැස්වීමේ සම සභාපතිත්වය හොබවනු ලැබීය. 

වෙළඳාම, ආයෝජන, රේගු, කම්කරු සබඳතා, බුද්ධිමය දේපළ, කෘෂිකර්මය සහ අනෙකුත් අදාළ නියෝජිතායතනවලට අයත්  නිලධාරීන් මෙම නියෝජිත පිරිසට ඇතුලත් විය.  

ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් (Julie J. Chung) සහ වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය විසින් රැස්වීම ආරම්භ කරමින් අදහස් ප්‍රකාශ කරනු ලැබීය.

වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමට අදාළ කවුන්සිල රැස්වීමේදී, ආයෝජන පරිසරය  කෙරෙහි බලපාන ප්‍රතිපත්ති, මෑතකාලීන කම්කරු නීති ප්‍රතිසංස්කරණ, බුද්ධිමය දේපල ආරක්ෂණය සහ බලාත්මක කිරීම, රේගු සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාම සඳහා පවතින තාක්ෂණික බාධක,  ඇඟලුම්, මැණික් සහ ස්වර්ණාභරණ මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපළ ප්‍රවේශය ද ඇතුළුව පුළුල් පරාසයක විහිඳුනු ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සම්බන්ධ ගැටළු පිළිබඳව දෙරට විසින්ම නැවත අවධානය යොමු කරන ලදී. 

ඩිජිටල් ආර්ථිකය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය, මල් වගාව, බෝට්ටු තැනීමේ අංශ (boat building sectors) සහ පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණය හුවමාරු කිරීම සහ පර්යේෂණ වාණිජකරණයට අදාළ සහයෝගීතාවය සහ තාක්ෂණික සහාය පිළිබඳව දෙපාර්ශ්වය විසින් සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන (FDI) අනුමත කිරීමේදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ශක්තිමත් හා විනිවිදභාවයෙන්  යුතුව දූෂණ විරෝධී පියවර ක්‍රියාත්මක කිරීම දේශීය ආර්ථික වර්ධනයට උපකාරි වන බව ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇත. 

යහපාලනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී, ශ්‍රී ලංකාව තුළ වගවීම සහතික කිරීමටත්, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමටත් ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකාව, විසින් මෑත කාලයේදී යෝජනා කරන ලද දූෂණ විරෝධී අණ පණත්  නීති පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කළ අතර අල්ලස් සහ සෑම ආකාරයකම දූෂණවලට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකානු රජයේ තාක්ෂණික සහාය සහ පුහුණුව ද ඉල්ලා සිටියේය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට සැල කර සිටියේ, සේවක අයිතිවාසිකම් සඳහා සහාය පළ කිරීමට වෙළඳ පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීම බයිඩන්-හැරිස් පරිපාලනයේදී ප්‍රමුඛ අවධානය යොමු වන කරුණක් බවයි.  

ශ්‍රී ලංකාව,  දැනට ක්‍රියාත්මක කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තරව පිළිගත් කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වන ලදී. 

කම්කරු නීති කෙටුම්පත් කිරීමේදී සියලුම පාර්ශ්වකරුවන්ගේ උපදෙස් ලබා ගැනීමේ මෙන්ම මහජන සමාලෝචනය සහ අදහස් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කම ද ඇමරිකා එක්සත් ජනපදය විසින් අවධාරණය කරනු ලැබීය. 

ශ්‍රී ලංකා නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු නීති ප්‍රතිසංස්කරණයේදී අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටි පිළිබඳව විස්‌තර කළේය. ශ්‍රී ලංකාවේ දැනට සිදු කරමින් පවතින කම්කරු නීති ප්‍රතිසංස්කරණ සංවර්ධනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයින් ප්‍රකාශ කරනු ලැබීය. 

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා  පවතින වෙළඳ බාධක අවම කිරීම දිරිමත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ගෘහස්ත වශයෙන් පවත්නා ඉල්ලුම සපුරාලීමට සත්ත්ව ආහාර වැනි නිෂ්පාදන යෙදවුම් (input products) ද ඇතුළත් වන විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන යටතේ ඇමරිකානු අපනයන සඳහා වැඩි වෙළඳපල ප්‍රවේශයක් ලබාදෙන ලෙස එක්සත් ජනපදය කරුණු ඉදිරිපත් කළේය. 

තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව වර්ධනය උදෙසා ජෛව තාක්ෂණවේද භාවිතයන් දියුණු කිරීමේ වාසි පිළිබඳව ද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිතයින් සාකච්ඡා කරනු ලැබීය.  

කාබනික කුළුබඩු නිෂ්පාදන සහ සාන්ද්‍ර (concentrates) වැනි ඉහළ වටිනාකමකින් යුත් සහ අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් ද, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට මෙන්ම ඇමරිකානු පාරිභෝගිකයන්ටද වාසිසහගත වන පරිදි ඇඟලුම්, රෙදිපිළි සහ සම් නිෂ්පාදන සඳහා වරණීය තීරු බදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ශ්‍රි ලංකා නියෝජිතයින් අවධානය යොමු කරන ලදී. 

ද්විපාර්ශ්වික වෙළඳාම මෙන්ම නවෝත්පාදන ද ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් බුද්ධිමය දේපළ (IP) ආරක්ෂා කිරීමේ සහ බලාත්මක කිරීමේ වැදගත්කම දෙරටම තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව, බුද්ධිමය දේපල පිළිබඳ පනත සහ ඊට අදාළ අනෙකුත් නීති සංශෝධනය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. මෙම ක්‍රියාත්මක වෙමින් පවතින බුද්ධිමය දේපල පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීම එක්සත් ජනපදය පිළිගනු ලැබූ අතර ධාරිතා සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ද දක්වන ලදී. 

2024 දී පැවැත්වීමට නියමිත මීළඟ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි කවුන්සිල රැස්වීමට පෙර වෙළඳ ගැටළු සම්බන්ධයෙන් තිරසාර ප්‍රගතියක් ලබා ගැනීම සඳහා කැප වීමට ද දෙරටම එකඟ විය. 

අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් වැඩසටහන අඛණ්ඩව

Published

on

By

ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, මෙම වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ ඊයේ (23) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්කවල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 කි.

තෝරාගත් දිස්ත්‍රික්ක 04ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පාසල් දරුවන්ගේ යකඩ ඌණතා ගැටලුව අවම වී ඇද්ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ අරමුණයි.  

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් ( Fortified Rice ) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරේ.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා පදනම, ගේට්වේ පදනම හා ෆාත්ෆයින්ඩර්  පදනම තවදුරටත් සහය ලබා දීමට ද එකඟ විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාධරන් මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා නියෝජිතායතනවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

අද ආරම්භ වෙන තැපැල් ඡන්දය

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.

අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතී.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන්  විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ.

ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

Published

on

By

සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.

මේ වන විටත් අධික ජනතාවක් එක් රැස්වී සිටිනන නිසා අද සහ හෙට දිනයන්හි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටි.

එම හේතුව පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසිය මෙම තීරණය ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved