Videos

VMF 2024 සංසදය පවත්වයි (වීඩියෝ)

Published

on

චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය හෙවත් CCTV ප්ලස් ඒජන්සිය විසින් සංවිධානය කරනු ලැබූ 12 වැනි ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය හෙවත් VMF සංසදය, දෙසැම්බර් තුන හා හතර යන දෙදින තුළදී සාර්ථකව සිදුකෙරුණි.

මෙවර VMF සංසදය පැවැත්වුණේ යුනෙස්කෝ ලෝක උරුමයක් මෙන්ම පුරාණ සේද මාවතේ ආරම්භක ස්ථානය ලෙස සැලකෙන චීනයේ ෆූජියෑන් පළාතේ ච්වන්ජෝ නගරයේදීය.

මෙම අවස්ථාවට රටවල් හා කලාප 60කට වැඩි ප්‍රමාණයකින් මාධ්‍ය ආයතන නියෝජිතයන් 200කට වැඩි පිරිසක් එක්විය.

මාධ්‍යකරණය සඳහා AI තාක්ෂණය යොදාගැනීම හා පාලනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන්, ගෝලීය දකුණේ රාජ්‍යයන් හි ඩිජිටල්කරණයේ ප්‍රශස්ත අනාගතයක් නිර්මාණය කිරීම, මෙම සංසද‍යේ ප්‍රධාන අරමුණ විය.

මෙම සංසදයට එක්වූ චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂන් හයි-ෂියොං මහතා පැවසුවේ ජාත්‍යන්තරයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් ලෙස, චීන මාධ්‍ය සමූහය විසින්, සිය තාක්ෂණික හා විකාශන හැකියාවන් ඔස්සේ, ගෝලීය හුවමාරුවන්, සහයෝගිතා හා පොදු සමෘද්ධිය උදෙසා, පාලමක් ගොඩ නැගීමට සූදානම් බවයි.

‘ගෝලීය දකුණේ රාජ්‍යයන් මාධ්‍ය සංවාද සහයෝගිතා ක්‍රමවේද ඒකාබද්ධ කිරීමේ මුලපිරුම’ද එහිදී නිකුත් කෙරුණි.

මාධ්‍ය නියෝජිතයන් විසින් විවිධ මාතෘකා ඔස්සේ හරවත් සාකච්ඡා පැවැත්වූ මෙම සංසදයට, CCTV ප්ලස් ඒජන්සිය හා එක්ව ‘ශ්‍රී ලංකා චයිනා හොට්ලයින්’ වීඩියෝ ව්‍යාපෘතිය සිදුකරන ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවියේ කර්තෘවරුන්ද සහභාගී විය.

ගෝලීය දකුණේ බලපෑම වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහි පැවති අදහස් හුවමාරුවකට ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ද එක් විය.

ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණේ රටවලට චීනය යනු ප්‍රබල ආර්ථික හවුල්කරුවෙකු පමණක් නොව, ජාත්‍යන්තර සබඳතා, වෙළඳාම හා සංවර්ධනය සම්බන්ධයෙන් අපගේ ප්‍රවේශය නැවත අර්ථ දක්වා ඇති බලවේගයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව, මෙම සංසදයට එක්වූ අමුත්තන්, ච්වන්ජෝ නගරයේ වර්ණවත් සංස්කෘතිය රසවිඳීමටද  එක්විය.

Trending

Exit mobile version