Connect with us

ඡායාරූප සටහන

ඉදිරි වසර 05 ලංකාවේ අනාගතය තීරණය කරනවා(ඡායා)

Published

on

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට”  සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (16) එක් වෙමිනි.
මන්නාරම නගර ශාලාවේදී පැවති  මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට”  ජනාධිපතිවරයා පළමුව එක් විය. “දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් මෙම  තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024  අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද  විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට   ජනාධිපතිවරයා කටයුතු කළේය.

කොරෝනා වසංගතය  හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද ඊයේ (16) මන්නාරමේදී පැවැත්විණි.
වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට,  ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේ දී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසදුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවිමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දෙපයින් නඟා සිටුවීමට තමාට හැකි වූ බව පැවසු ජනාධිපතිවරයා ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල්  සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය.  

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්  යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

ලෝක බැංකු සභාපති – ජනපති හමු වෙයි (ඡායා)

Published

on

By

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා  (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු  සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. 

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury),  ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan)  යන මහත්වරුද මීට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය  සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

ජනපති, අගමැති, විපක්ෂනායක හා පක්ෂනායකයින් අද ඡන්දය ප්‍රකාශ කල අයුරු

Published

on

By

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය ඡන්දය ප්‍රකාශ කලේ කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කලේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබුණේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ඡන්දය භාවිතා කර තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

සර්වජන බලය පක්ෂ නායක දිලිත් ජයවීර මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර ඇත්තේ මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

 මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04ක්

Published

on

By

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.

වියට්නාම ජනාධිති මන්දිරයේ දෙරට අතර අද (05) පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුම් හා එකඟතා  ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

මෙහිදී වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත. 

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම හා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම් මඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.

මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් දෙරටට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved