Connect with us

ඡායාරූප සටහන

ඡන්දෙ දුන්න අයට වැරදුණ බව අනුර කියයි (ඡායා)

Published

on

ජාතික ජන බලවේගයේ ගොවි රැලිය  ඊයේ (20)  දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මෙහිදී ජනබලවේගයේ නායකයා ජනතාව අමතමින් අදහස් දක්වමින් කියා සිටියේ, ගොවි ජනතාව ණය බරෙන් මුදාගෙන අභිමානවත් ගොවි පරම්පරාවක් බවට පත්කල යුතු බවය.

මෙහිදී අනුර දිසානායක මහතා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්,

“ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා විතරක් නොවෙයි අපි අමාරුවෙත් වැටුණා. මේ සැරේ අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක්. මෙච්චර කල් තීන්දු අරගෙන හදපු ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවෙයි. ඒවා ලොකු වලව් නියෝජනය කළ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ ලොකු ධනවතුන් නියෝජනය කළ ආණ්ඩු. ඒගොල්ලන්ගේ ආණ්ඩු හැමදාම තීන්දු තීරණ ගත්තේ ඒ අයට හිතකර ලෙස. ත්‍රීවිල් එකට තුන් හතර ගුණයක බද්දක් ගහනවා. ඒගොල්ලන්ගේ වාහනයට ඒ වගේ ලොකු බද්දක් ගහන්නේ නැහැ. ඕගොල්ලන් ගන්න සෑම සීනි කිලෝ එකකට, පරිප්පු කිලෝ එකට, සබන් කැටේට, බෙහෙත් ටිකට බද්දක් ගහනවා. බදු ගහලා එකතු කරන සල්ලිවලින් ඒගොල්ලන්ගේ අයට බදු නිදහස දෙනවා. පසුගිය දා වාර්තා වුණා කෝටි විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැතිව ඉන්න බව. සීනි කිලෝ එකකට රුපියල් 50ක් විතර, තෙල් ලීටරයට රුපියල් 75ක් විතර බද්දක් ගහනවා. පොදු ජනතාවට බදු ගහනවා. ඒ ගොල්ලන්ගේ හිතමිතුරන්ගේ බදු නිදහස් කරනවා. ඒ මොකද? ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නිසා. තමුන්නාන්සේලා බැංකුවලින් ණය අරගෙන වගා කරනවා. වගාව විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ණය නොගෙවීම නිසා උසාවි ගෙනියනවා. ඒ අපි පොඩි මිනිස්සු නිසා. නමුත් දයා ගමගේ කෝටි 500ක් විතර පොලු තියලා. එයා හෙලිකොප්ටරෙන් යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඇලෝසියස් මුදලාලි, බැංකුවලට පොලු තියලා. එහෙම නැතිනම් බදුවලට පොලු තියලා. එයාලට මොනවත් වෙන්නේ නැහැ. නමුත් තමුන්නාන්සේලා ණයක් අරගෙන ගෙව්වේ නැතිනම් ඉඩම, ගේ දොර වෙන්දේසි කරන තැනට එනවා. මෙපමණ කලක් වෙලා තිබෙන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නාට, ඒ ආණ්ඩු හැමදාම පාලනය කළේ ඒ අයගේ පංතියේ අය ගැන හිතලා.

දැන් යනවා, යුක්තියේ මෙහෙයුම කියලා එකක්. අහුවෙන්නේ කවුද? කුඩු ටිකක් ගහන කෙනෙක්. ඒ  අය පොඩි මිනිස්සු. අපේ පංතියේ අය. කෝටි දෙසීයේ තුන්සීයේ කුඩු අහුවෙනවා. එතරම් ප්‍රමාණයක කුඩු ගේන්න පුළුවන් කාටද? ඒ අය අහුවෙන්නේ නැහැ. ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. අම්පාරේ බන්ධනාගාරයට, වැලිකඩ බන්ධනාගාරය ගාවට  ගිහින් බලන්න කවුරු හෝ ලොකු මහත්තයෙක් හිරේ ඉන්නවාද? මේ දවස්වල රිමාන්ඩ් එකේ කෙහෙලිය ඉන්නවා. ඒ ගැන හිතන්න එපා. වැරදි කරන්නේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් විතරද? උඩ ඉන්න අය වැරදි කරනවා. නීති කඩනවා. හොරකම් කරනවා. ව්‍යවස්ථා කඩනවා. හැබැයි ඒ ගොල්ලන්ට දඬුවමක් නැහැ. ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. මෙච්චර කාලයක් මේ රටේ පොදු ජනතාව ආණ්ඩු හැදුවාට, පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදාගත්තේ නැහැ. අපි ඕගොල්ලන් හමුවෙන්න ආවේ, අපි ඔක්කෝම එකතුවෙලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදා ගනිමු කියන යෝජනාව කරන්න. මේ ඔබලා ආවේ ඒ ආණ්ඩු එපා වෙලා වෙනස් කරන්න ඕනෑ කියන අදහසින්. දැන් ඔබ කරන්න ඕනෑ තවත් අලුත් අය එකතු කරන එක.

මේ ගොවි ජනපදයේ වකුගඩු රෝගයට ගොදුරු වුණු අම්මලා, තාත්තලා විශාල පිරිසක් ඉන්නවා. මේක ව්‍යසනයක් බවට පත්වෙලා. වකුගඩු නරක් වුණාම ඉඩකඩම් විකුණලා බේත්හේත් කරන්න සිදුවෙලා තිබෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධපුරේ තිරප්පනේ වකුගඩු රෝගයෙන් සිටි ගොවි මහතෙක් මහකන්නයේ අස්වැන්න නෙළා ගෙන ගෙදරට ගෙනත්, මේ වී විකුණලා මට බෙහෙත් කරකොට ගෙදර අය අමාරුවේ වැටෙනවා කියලා ලියුමක් ලියලා ඔහු වස බීලා මැරුණා. ගොවි මහත්තුරු දන්නවා ගෙදරක වකුගඩු රෝගියෙක් හැදෙනවා කියන්නේම ගෙදරම ජීවිත විනාශ වෙනවා. ඉඩකඩම් විකුණන්න වෙනවා. ස්වාමියා මැරෙනවා. පවුලම අනාථ වෙනවා. මේක යුද්දෙටත් වඩා විශාල ව්‍යසනයක්. කුමන හෝ පර්යේෂණයකින් මේ වගුකඩු රෝගයට හේතුව මොකක්ද කියා සොයාගෙන තිබෙනවාද? ඒවා ගැන පර්යේෂණ කරන්න උනන්දුවකුත් නැහැ. දේශපාලකයෙකුට වකුගඩු රෝගය හැදුණා කියා ඔබ අසා තිබෙනවාද? හැබැයි ඩෙංගු හැදුනා කියා අසා තිබෙනවා. ඩෙංගු වඳ කරන්න මාරාන්තික පොරයක් තිබෙනවා. ඒ ඇයි? මදුරුවා ඒගොල්ලන්ටත් විදින නිසා. අද වකුගඩු රෝගය හැදිලා කෙනෙක් මිය ගියාම මරණ සහතිකේ ලියන්නේ “හඳුනා නොගත් හේතුවක් මත වකුගඩුව අක්‍රීය වී මියගොස් ඇත” කියලා. මේ 21වැනි සියවසේ අපේ ගම්වල අම්මලා තාත්තලා මියෑදෙනවා ලෙඩේ මොකක්ද කියා දන්නේ නැතිව. ඒ ගැන සොයන්න මේ පාලකයන්ට ඕනකමක් නැහැ. තවම හේතුව සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. හේතුව නිසි පර්යේෂණයන් නොකිරීම. අද හඳේ පස් පරීක්ෂා කරන ලෝකයේ දෙහිඅත්තකණ්ඩියේ හඳුනා නොගත් රෝගයකින් මිනිසුන් මැරෙන ලෝකයක් තිබෙනවා. මේ පාලක කණ්ඩායම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසයි අපට පොදු ජනතාවගේ ආණ්ඩුවක් ඕනෑ වෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉතා වේගයෙන් පර්යේෂණ කරලා, මේ රෝගයට හේතුව සොයා ගන්නත්, මෙය පැතිරී යාම වැළැක්වීමටත් ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් දෙනු ලබන ජීවන වියදම් දීමනාව මීට වඩා වැඩි දීමනාවක් බවට පත්කරනවා.  හොරකම් කරපු ධනය අරගෙන ඒ අයට බෙදා දෙනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පළමු කාර්යභාරය වන්නේ පොදු ජනතාව රැකබලා ගැනීම. මේ පළාත්වල වන අලි අනතුරු නිසා කොතරම් විනාශයක් වෙනවාද? වගාව, දේපොළ, නිවාස, ජීවිත සියල්ල වන අලි විනාශ කරනවා. මේ ප්‍රශ්නවලට  ආණ්ඩුව කළේ ‘වල් අලියා’ වෙනුවට ‘වන අලියා’ කියා කියන්න ගැසට් ගහපු එක. ඒ වගේම අලිත් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. වන අලි තර්ජනය වැඩිවෙමින් තිබෙනවා. දේශපාලකයන් මැදිහත් වෙලා අලි ඉන්න කැලෑ, ඔවුන්ගේ කොරිඩෝ ටික, ඔවුන්ගේ ආහාර ටික විනාශ කළා. අලියා ගමට තල්ලු කළේ මේ ආණ්ඩු. අද මේක ව්‍යසනයක් බවට පත්වෙලා. අවුරුද්දකට ආසන්න වශයෙන් මිනිස්සු 200ක්වත් අලි ගහලා මැරෙනවා. මේ මැරෙන්නේ ගම්වල අම්මලා, තාත්තලා, දරුවන්. පාලකයන්ට ගාණක් නැහැ. සාමාන්‍ය ජනතාව ගැන තෙතමනයක් නැති පාලකයෝ. අපේ සැලසුම අලි ගමට පැනීම වැළැක්වීම සඳහා හොඳ විදුලි වැටක්, ගමේ පොදු ජනතාව එකතුවෙලා බලා ගන්න විදුලි වැටක්, නැවත අලි කොරිඩෝ ටික විවෘත කර, කැලෑ මැද තිබෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා ඔවුන්ට වතුර ටික, කැලෑ වර්ධනය වෙලා ඔවුන්ගේ ආහාර ටික සැපයෙන ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නැගුවොත් වල් අලි තර්ජනය නතර කර ගන්න හැකිවෙනවා. ඒගොල්ලන් ඒවා නොකළාට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් එය ඉටුකරනවා.

ගමේ ජනතාවට වගා කරන්න ඉඩමක් නැත්නම්, ආදායමක් ලැබෙන රස්සාවක් නැතිනම්, ඒ පවුල දුප්පත්. දුප්පත්කමේ විෂය චක්‍රයට හවුල් වුණු අය දුප්පත්කමින් හැමදාම මිරිකිලා ඉන්නවා. රස්සාව අහිමි වීම, කුඹුර සින්නවීම නිසා දුප්පත්කමට පත්වුණු අය ඉන්නවා. ආදායම් ඉපයීම් නැති නිසා, ඇඟට ශක්තිය නැති නිසා දුප්පත් වූ අය ඉන්නවා. ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයකින් පෙළෙනවා. මේ නිසා දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න නොහැකිව තියෙනවා. දුප්පත්භාවය නිසා නූගත්කමත්, ඒ නිසා විවිධ අපරාධයන්හි යෙදීමත් සිදුවෙනවා. දුප්පත්භාවය නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් නැති වෙනවා. ඒ නිසාම කෙසඟ සිරුරක්, මන්දපෝෂණයත් ඇති කරනවා. ශරීරයත් මොළයත් නිසි පරිදි වර්ධනය වෙන්නේ නැහැ. දුප්පත්කම නිසාම ඉක්මනින්ම මහලු වෙනවා, මියැදෙනවා. දුප්පත්භාවය ව්‍යසනයක් වෙලා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පළමු කොටම ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මේ වෙලාවේ දුප්පත් ජනතාව රැකබලා ගන්න ඕනෑ. ඒ ඒ අයට අවශ්‍ය වන සහනාධාර ලබාදෙනවා. රටේ සියලුම පුරවැසියන්ට, ආහාර, සෞඛ්‍යය, දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා. අනාගතයේ ක්‍රමානුකූලව ධනය උපද්දන, වත්කමක් ඇති කරන පවුලක් බවට පත්කරන්න සැලැස්මක් අපි සකස්කොට තිබෙනවා. කිසිම පුරවැසියෙක් හැමදාම ආණ්ඩුවෙන් දෙන සොච්චමකින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් ආඩම්බරයෙන්, ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතියි. ඒ සඳහා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් තියෙන්න ඕනෑ. හැමදාම ඡන්දයක් එන කොට සාරියට, හාල් කිලෝ  දෙකට, බත් පැකට් එකට ඡන්දෙ දෙන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ.

ගෞරවයෙන් ජීවත්වෙන ආර්ථික තත්වයක් හදන්න ඕනෑ. ඒක කරන්නේ කොහොමද? ඔයගොල්ලන් දැනට යෙදෙන්නේ කෘෂිකර්මාන්තයේ එය වඩාත් ලාභදායී කර්මාන්තයක් වෙන්න ඕනෑ. ලෝකයේ බොහෝ රටවල් කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. අපි යළිත් ශක්තිමත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. කෘෂිකර්මාන්තයේ, කර්මාන්තයේ යෙදෙන අයට අඩු පොලියට, ඇප රහිතව ණයක් ගන්න අවස්ථාව හදනවා. ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕනෑ. ගොවි ජනතාව හිරවී ඇති ණය බරෙන් නිදහස් කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. ගමේ පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, වී ගන්න මුදලාලිට, ලංකා බැංකුවට, මහජන බැංකුවට, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන තැනටත් ණයයි. ණය උගුලකට හිරවුණු පුරවැසියෙකුගේ ආර්ථිකය යහපත් තත්වයට පත්වෙන්නේ නැහැ. මේ ගොවියා කමතෙන්ම වී ටික විකුණලා ණය ගෙවලා හිස් අතින් ගෙදරට එනවා. අපි ගොවියා මේ ණය උගුලෙන් මුදා ගන්න ඕනෑ.

2001 පරිවාස ආණ්ඩුවේදි අපි රුපියල් 25,000ට වඩා අඩු සියලු ගොවි ජනතාවගේ ණය කපාහරින්න යෝජනා ගෙනාවා. අපි ඒ වැඩේ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයයි හිටියේ. ගොවි ජනතාව හිරවෙලා ඉන්න ණයවලින් නිදහස් කරන්න යම් ප්‍රතිශතයක් අපි කපා හරින්න ලැහැස්තියි. ගොවි ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කරන්න නම්, පළමු කොටම ණයවලින් නිදහස් කර ගන්න ඕනෑ. ඒ වගේම නැවත ණය උගුලේ හිරනොවෙන වැඩසටහනක් දියත් කරන්නත් ඕනෑ. ඒ නිසා තමයි සංවර්ධන බැංකුවක් ඕනෙ. හැබැයි ණය මුදල අරගෙන හිතෙන හිතෙන දේවල් වගා කරන්න බැහැ. ණය මුදලත් එක්ක කොන්දේසියක් ලැබෙනවා. වගා කිරීමට වඩා සුදුසු දේ මොනවාද යන්න පැහැදිලි කරනවා. ඕනෑම භාණ්ඩයක් වෙළඳපොළට එන්නේ, ඒ භාණ්ඩය කොතරම් වෙළඳපොළට ඕනෑද කියන එක මත. ෆෝන් නිෂ්පාදකයන් වෙළඳපොළට ෆෝන් නිදහස් කරන්නේ රිසර්ච් එකක් කිරීමන් පසුව. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව මේ වසරේ කොතරම් වැඩිවෙලා තිබෙනවාද යන්න පිළිබඳ දත්ත එකතු කරනවා. ඒ අනුව ෆෝන් නිෂ්පාදනය කරනවා. එවිට මිලදී ගන්න එකට සරිලන සැපයුමක් තිබෙනවා. එවිට මිල බිඳ නොවැටී ස්ථාවර වෙනවා. වෙළඳපොළ හැසිරෙන්නේ දත්ත තොරතුරු මත. හැබැයි ඕගොල්ලන් වගා කරන්නේ දත්ත තොරතුරු මතද?

ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. අපි කියනවා ජනතාවට යම් යම් කාලවලදී වෙළඳපොළට අවශ්‍ය වෙන එළවළු, ළුෑණු, මිරිස් මොනවාද කියන එක ගැන. ඒව ද්‍රව්‍ය වගාකරන්න කියා ගොවි ජනතාව දැනුවත් කරනවා, උපදෙස් දෙනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ගොවි ජනතාව වගා කරනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ෆෝන්, රතිඤ්ඤා, සබන් හදනවා. හැබැයි දන්නේ නැති වෙළඳපොළකට එළවළු හදනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ලංකාවේ පළමුවැනි වතාවට සැලසුම් කරන ලද වගාවක්, හඳුන්වා දෙනවා. වෙළඳපොළට සරිලන වගාවන් කරනවා. අද ගොවියා වගාකරන්නේ ඉවට. ඒ වගේම නෙළන අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යනවා. වාර්තාවල සඳහන් වෙනවා නිෂ්පාදනය කරන සමහර එළවළුවලින් 38%ක් පමණ අපතේ යනවා. පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් හදලා ගොවි ජනතාවගේ ඵලදාවට සාධාරණ මිලක් එන ක්‍රමයක් ජාතික ජන බලවේගයේ අපි හදනවා.

අද ලෝකයේ කෘෂිකර්මාන්තය කරන්නේ ඉවට නොවෙයි. පසට ගැලපෙන්නේ මොනවාද, පසට ඇතුල් කළ යුත්තේ මොනවාද යන්න සෙවීමට තරම් දියුණු වෙලා තිබෙනවා. අමෙරිකාවේ පර්යේෂණ ආයතනයක වැඩ කරන පර්යේෂණ විශාල ගණනක් කළ චීනය, ජපානය වැනි රටවල් ගණනාවක සේවය කර තිබෙන මහාචාර්යවරයෙක් හමුවුණා. ඔහු පස පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. පස කියන එක වැදගත්. කලාපෙන් කලාපෙට පසේ සංයුතිය බලලා යෙදිය යුතු බෝගය තීරණය කරන්න ඕනෑ. ඒ වගේම නයිට්‍රජන්, පොස්පේට්, පොටෑසියම් කොතරම් දාන්න ඕනෙද කියා තීරණය  කරන්න ඕනෑ. විද්‍යාත්මක ක්‍රමයක්, වැඩි අස්වැන්න ලබා ගන්න ක්‍රමයක්. එළඹෙන 29දා අපි කොළඹ සූදානම් කර තිබෙනවා, ලෝකයේ වෙසෙන ලාංකිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ, ලංකාවේ විද්‍යාඥයන් පිරිසකුත් සහභාගි කරගෙන අපේ රටේ පර්යේෂණ දියුණු කිරීමේ මණ්ඩලයක් ගොඩනඟනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණ කෙරෙන්න ඕනෑ. තායිලන්තය වගේ රටවල එළවළු, පලතුරු කල්තබා ගැනීම පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. අපි කල්තබා ගැනීමේ ක්‍රම පර්යේෂණයන් මගින් ලංකාවට ගේන්න ඕනෑ.

සමහර එළවළු, පලතුරුවලින් පරිභෝජනය සඳහා පමණක් නොවෙයි තවත් දේ නිපදවනවා. රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. වට්ටක්කා, කැරට් වැනි එළවළුවලින් නව නිෂ්පාදනයන් කිරීම් කරන්න ඕනෑ. ගොවියාගේ ජීවිතය කෘෂිකර්මාන්තය අනුව දියුණු වෙන්නේ එහෙම තමයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොවි ජනතාවගේ  ජීවිතය ණය බරෙන් නිදහස් කරගෙන ගෞරවයක්, ආඩම්බරයක් සහිත ගොවි පරම්පරාවක් බවට පත්කරන සැලැස්ම අපි හදනවා.

එපමණක් නොවෙයි ගොවි ජනතාවගේ දරුවන්ට අනාගතය නිර්මාණය වෙන්න ඕනෙ අධ්‍යාපනයෙන්. තාත්තා කුඹර කෙටුවාට උරුමයෙන්ම පුතා කුඹුරු කොටන්න ඕනෑ නැහැ. මේ තරුණ පරම්පරාව මේ වියගසෙනුත් නිදහස් කර ගන්න ඕනෙ. තාත්තා නියැලුණු ආර්ථිකයෙන් එළියට එන්නේ කොහොමද? ඒකෙ ප්‍රධානම වන්නේ අධ්‍යාපනය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගම්වල දරුවන්ට නව ලෝකයේ දොරටු විවෘත කර ගැනීම සඳහා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. කොළඹ නගරයේ පාසලත් දෙහිඅත්තකණ්ඩියේ ගමේ ඉස්කෝලෙත් සෑම ඉස්කෝලෙකම දරුවන්ට සමාන, සාධාරණ අත්‍යවශ්‍ය පහසුකම් සහිත අධ්‍යාපනයක් අපි හදන්න ඕනෑ. අලුත් දැනුම සහිත දරුවන් ගම් ඇතුලේ හැදෙන්න ඕනෑ. ලෝකයේ දියුණු තාක්ෂණය ගම් ඇතුලට ගලාගෙන එන්න ඕනෑ. ඒ ගොල්ලන් රස්සාවලට යන්න ඕනෑ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත්වෙන්න ඕනෑ. තවත් දරුවන් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා පොඩි කර්මාන්තයක් පටන් ගන්න ඕනෑ. ඒ නිෂ්පාදනයන් දෙහිඅත්තකණ්ඩියේ අයට විතරක් නොවෙයි මෙතනින් එහාට, වෙනත් ප්‍රදේශවලට විතරක් නොවෙයි ලෝකයටත් ගෙනියන්න ඕනෑ. එහෙම කරන්න නම් නව තාක්ෂණය එකතු කරන්න ඕනෑ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් ලෙස සලකා තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හදන්න. ලක්ෂ ගණන් හදන්න ඕනෑ. අවුරුද්දකදී ඉස්කෝලවලින්, විශ්වවිද්‍යාලවලින් ලක්ෂ තුනක් විතර එළියට එනවා. මේ ලක්ෂ තුන රස්සාවලින් පුරවන්න බැහැ. ආණ්ඩුවේම රස්සා තිබෙන්නේ ලක්ෂ පහළොවයි. පිරවීම නිසාම ඒවායෙත් වැඩිවෙලා තිබෙන්නේ. පෞද්ගලික අංශයේ තිබෙන්නේ ලක්ෂ 24යි. ආණ්ඩුව ඇතුලෙත්, පෞද්ගලික අංශය ඇතුලෙත් විශාල ලෙස රස්සා ඇතිවෙන්නේ නැහැ. සමහර ආයතනවල රැකියාවලින් එළියට දමමින් තිබෙනවා. අලුත් ඉඩක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් තුළයි. හැම තරුණයෙක්ම හිතන්න ඕනෑ අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න, අලුත් කර්මාන්තයක් කරන්න, අලුත් ව්‍යවසායකයෙක් වෙන්න. ආණ්ඩුව මැදිහත් වෙලා සංවර්ධන බැංකුවලින් අඩු පොලියට ණය, තාක්ෂණය  ලබා ගන්න හැකියාව දෙනවා. ලෝකයේ වෙළඳපොළක් සොයා දෙනවා. දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාවක් නව ව්‍යවසායකයෙක් හැටියට හැදෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක නිෂ්පාදනයේ යෙදෙන, ලෝකයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ සැපයුමේ යෙදෙන මධ්‍යස්ථානයක් බවට දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාව පත්වෙනවා. පරණ ව්‍යසනයේ ගොදුරක් බවට පත්වෙලා තිබුණු ගම වෙනස් වෙන්න පටන් ගන්නවා. අලුත් දේවල් බලන්න කොළඹම යන්න ඕන නැහැ. මේවා වෙනස් වෙන්න ඕන. ගම්පිටින් නව පරිවර්තනයකට පත් වෙන්න ඕනෑ.

මේ පාලකයා කවදාවත් එහෙම හිතුවේ නැහැ. තාත්තා ජනාධිපති වුණා, පුතා ජනාධිපති කරන එක තමයි ඔවුන්ගේ සිහිනය වුණේ. තාත්තා ඇමති නිසා පුතා ඇමති කරන්න ඕනෑ වුණා. මහත්තයා මන්ත්‍රී, නෝනත් මන්ත්‍රී වෙන්න ඕනකම තිබුණේ. ඒ ගොල්ලෝ ගම අලුත් පරිවර්තනයකට, අලුත් සංවර්ධනයකට යොමු කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. ගම වෙනස් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. “දුප්පතාගෙ හිතවතා”, “ගමෙන් ආව ගැමියා” කියනවා. මොන හිතවත්කමක්ද, ගැමියා ගැන අධිකරණයත් දන්නවා. පොළොන්නරුවෙන් ආවා කීවත්, ගිරුවාපත්තුවෙන් ආවා කීවත් අවුරුදු දහයක් පහළොවක් හොඳ ගේමක් දුන්නා. ගම් හැදුවේ නැහැ. ඒ ගොල්ලෝ, ඒගොල්ලන්ගේ පවුල් හැදුණා. වටේ ඉන්න කණ්ඩායම් හැදුණා. ගම් පරිවර්තනයක් කළේ නැහැ.

අපි ගම් මේ විදිහට තියාගෙන යනවාද, දියුණුවේ දිසාවට වෙනස් කරනවාද? ජාතික ජන බලවේගයේ ඉතා හොඳ ස්ථාවර සැලැස්මක් තිබෙනවා. ගම, දියුණුවේ දිසාවට පරිවරතනය වෙන ගමක්. මොන වගේ දිසාවක්ද, හොඳ වාතාශ්‍රයක් සහිත නිවසක් තිබෙන, හොඳ ආදායම් මාර්ගයක් තිබෙන පුරවැසියන් ජීවත් වෙන, මානසික නිදහස තිබෙන, ගමේ අය එකතු වෙලා ටීටර් එකක් පෙන්වන, පවුලේ අය එකතුවෙලා චිත්‍රපටයක් බලන්න යන, පවුලේ අය රෑට එළියට ගිහින් කෑම වේලක් කාලා එන ගමක්. මේ සතුට ගමට ඕන නැද්ද? එහෙම ගමක් ඕනෑ. කොළඹ ඔය හැමදෙයක්ම තිබෙනවා. ගම්වල අයට එහෙම ජීවිතයක් නැහැ. ගම්වල මිනිස්සු ජීවිතේ මොකක්ද කියලා දන්නේ නැතිව මැරෙනවා. අපේ දරුවන් ජීවත් වෙන්නේ රස ආහාරයක් මොකක්ද කියලා දන්නේවත් නැතිව. ඒ නිසා මේක අපි පරිවර්තනය කරන්න ඕනෑ. හොඳ අධ්‍යාපනය ලබපු, ලෝකයේ ජයග්‍රහණය කළ දරුවන් ඉන්නවා. කොළඹ විශ්වවිද්‍යාලවල වැඩකරන දරුවන් ඉන්නවා. කුඩා වෘත්තියක් කරන, කුඩා ව්‍යවසායක් කරන, හොඳ ගොවි මහත්තයෙක්,  ඉන්න ගමක් ඕන නැද්ද. ගමකට හවස පහ වෙනකොට ගිහින් බලන්න හොඳ සිහියෙන් ඉන්න වැඩිහිටි පිරිමියෙක් සොයා ගන්න අමාරුයි. එකම සතුට හවසට අඩියක් ගහන එක විතරයි. බිරිඳට, දරුවාට එය සතුටක්ද? පවුලට දියුණුවක්ද? ඒක ජීවිතයක් නොවෙයි.

අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු හැට හැත්තෑව වෙන කොට මියැදෙනවා. ඒ කෙටි ජීවිත  කාලය රසවත් වෙන්න ඕන නැද්ද. සතුට ඕන නැද්ද. සැනසුම ඕන නැද්ද. ඉපදිලා ගතවෙන මොහොතක් පාසා මැරි මැරි ජීවත් වෙනවා නම්, ඒ ජීවිතවලින් අපට ඵලක් නැහැ. මේ පරිවර්තනයට ලක් කරන ගම්, හොඳ මිනිස්සු හිටිය ගම්, අනෙකා ගැන තෙතමනයක් තිබෙන ගම්, අනෙකා ගැන සොයා බලන ගමක්,  සතුටින් ඉන්න ගමක් එදා තිබුණා. ඉස්සර හැමෝම එකතුවෙලා දවස් හතේ නාට්‍ය එළිවෙනකම් එදා බැලුවා. අද එහෙම එකතු වෙලා මොනවා හෝ කරනවාද? අද ඒ සියල්ල නැතිවෙලා. ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. අපි හදන්න යන්නේ සෑම අතින්ම දියුණු ගමක්; මනසෙන්, සතුටින්, ආර්ථිකයෙන්, ජනතාව අතර සමගියෙන් සිටින ගමක්. ජාතික ජන බලවේගය හදන්නේ එහෙම සමාජයක්. අපි ගම්වල ඉපදුණු, ගම්වල හැදුණු වැඩුණු මිනිස්සු. මේවායේ මිනිසුන්ගේ ජීවිත ගතවුණේ කොහොමද කියා අපි දන්නවා. අපේ යහළුවන්ගේ, හිතවතුන්ගේ ජීවිත ගෙවුණේ කොහොමද දන්නවා. ඔවුන් මුහුණ දුන් ව්‍යසනය අපි දැක්කා. අන් හැමට වඩා ජාතික ජන බලවේගයට වගකීමක් සහ අයිතියක් තිබෙනවා ගම්වල දේශපාලනය කරන්නත්, ගම් වෙනස් කිරීම සඳහා පදනම සකස් කිරීමටත්. අපේ දේශපාලනය බඩු බෙදනවා නොවෙයි. අපි දැනුම බෙදනවා. දැනුම ඒකරාශී කරගෙන සමාජ පරිවර්තනයක් කරනවා. මේ ක්‍රමය සියල්ල වෙනස් කරනවා. ඇත්ත ජනතාවගේ ආණ්ඩුවක් අපි හදනවා. ඒක වෙනස් කරන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව කිසිසේත් මග හරවා ගන්නේ නැතිව ප්‍රයෝජනය අපි ගනිමු. තව මාස දෙක තුනක් තිබෙන්නේ. ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට කතා කරන්න. ඔවුන් ජාතික ජන බලවේගය දිසාවට හරවමු. අපි ඔක්කෝම එකතු වෙලා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරලා දියුණු ගමක් අපේ රටේ හදමු”

ඡායාරූප සටහන

පැරණි මොන්ගෝලියානු සොල්දාදුවන් තවමත් ඉන්න බොග්ඩාල් (වීඩියො/ඡායා)

Published

on

By

චීනයේ ෂින්ජියැං හි විශාලතම කඳුකර විල වන සයිරම් විලෙන් (Sayram Lake) කිලෝමීටර 60 ක් පමණ දුරින් වන බොග්ඩාල් ගම්මානය (Bogdal village) විශ්මයජනක දසුන් සහ පොහොසත් ජෛව විවිධත්වය නිසා මේවන විට ප්‍රසිද්ධයට පත්ව තිබේ.

ෂින්ජියැං උයිගුර් ස්වයාන්තයේ ස්වයං පාලන ප්‍රාන්තයක් වන බෝර්තාලා මොන්ගෝලි හි පිහිටා ඇති බොග්ඩාල් ගම්මානයේ මොන්ගෝලියානු, කසැක්, උයිගුර් සහ හන් ජනවාර්ගික කණ්ඩායම් සහජීවනයෙන් වෙසෙන ගමක් ලෙස ප්‍රචලිතය.

එහි යන විදේශිකයන්ව අඩි දහයක් පමණ විශාල ලී ගේට්ටුවක් ඉදිරියේ ගම්වැසියන්ට ආවේනික ඇඳුම් ආයිතම් පැළඳ ගීත ගයමින් සාඨක පලන්දා, සැරවතුර කෝප්පයක් දී පිළිගැනීම ඔවුන්ගේ ආගන්තුක සත්කාරයේ කොටසක් වන අතරම එය විදේශීය ආකර්ශනයට හේතුවී තිබේ.

ඉන් සුළු වේලාවකට පසුව ගම්මානයට ඇතුළු වන සුවිශාල ගේට්ටුව විවෘත වන අතර ගාම්භීර පසුබිම් සංගීතයට, ඓතිහාසික ඇඳුම් ඇඳගත් සොල්දාදුවන් පිරිසක් අශ්වයන් පිට සෙමින් ළඟා වෙමින්, ගමේ උරුමය අවදි කරන දසුන් දුටුවන්ට එහි අතීත විභූතිය විදහා දක්වයි.

චිං රාජවංශයේ (1644-1911) චියැන්ලොං අධිරාජ්‍යයාගේ පාලන සමයේදී, මොන්ගෝලියානු සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල් දහස් ගණනකට දේශසීමාවේ ආරක්ෂක කටයුතු සඳහා බටහිර දෙසට ෂින්ජියැං වෙත සංක්‍රමණය වන ලෙස නියෝග කර තිබේ.

එම සොල්දාදුවන් හා පවුල්වල අය දුෂ්කරතා විඳදරාගෙන දිගු හා දුෂ්කර ගමනකින් පසුව ඔවුන්ගේ ගමනාන්තය වන බොග්ඩාල් ගම්මානය වෙත පැමිණි බව පැවසේ.

වර්තමානයේ, ඔවුන්ගේ පරම්පරාව බොග්ඩාල්හි ජනගහනයෙන් බහුතරය වේ.

බොග්ඩාල් හි ප්‍රජාව මුලින් දේවගැති ප්‍රජාවක් ලෙස සැලැකෙන අතර වර්තමානයේ බොග්ඩාල්හි පදිංචිකරුවන්, සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී, ඔවුන්ගේ ගමට පැමිණෙන අමුත්තන් ඔවුන්ගේ කැපී පෙනෙන ඉතිහාසය පසක් කරන දර්ශනයක් මතුකරමින් පිළිගනී.

එහි යන විදේශිකයන්ට එහි ඇති ප්‍රධාන ආකර්ෂණයන් අතරට ජනවාර්ගික සංස්කෘතිය අත්විඳීම සහ මොන්ගෝලියානු හෝ කසාක් විලාසිතාවේ දැවයෙන් හෝ මැටියෙන් තැනූ පැල වල සිට රසවත් ආහාර රස විඳීමට අවස්ථාව උදාවේ.

එසේම එහි සංචාරයේ යෙදෙන්නකුට දුනු ශිල්පය පුහුණු වීමට සහ දිවා කාලයේ ගමේ දොරටු විවෘත කිරීමේ උත්සවයක් නැරඹීමට, ගිනි මැල සාදයක් භුක්ති විඳීමට සහ රාත්‍රියේ සංස්කෘතික රංගනයන් භුක්ති විඳීමට හැකි බව පැවසේ.

බොග්ඩාල්හි නව මුහුණුවර 2021 දී ආරම්භ වූ චීන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු එකකි.

වර්තමානයේ එහි මලාපවහන පද්ධති, මාර්ග සහ බිත්ති ඇතුළුව යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර, සියල්ල රජයේ අරමුදල්වලින් ප්‍රතිසංස්කරණය කර තිබීම ද විශේෂිතය.

ගම් කමිටුව නිෂ්ක්‍රීය නිවාස නවාතැන් බවට පත් කිරීමට පදිංචිකරුවන් දිරිමත් කරන අතර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලබයි.

ඔවුන් විසින් අමුත්තන් සඳහා පවත්වනු ලබන සාම්ප්‍රදායික මොන්ගෝලියානු විවාහ උත්සවය අමුත්න් අතර ජනප්‍රිය අංගයක් වී තිබේ.

එය නාට්‍යානුසාරයෙන් මොන්ගෝලියානු මනාලයා විසින් මානාලියගේ නිවසින් මනාලිය ගැන විමසීමේ සිට ඇය කැන්දන්යාම මෙන්ම නැවත පැමිණීම ද රඟදක්වයි.

සටහන / ඡායා හා වීඩියෝ – කැළුම් ශිවන්ත

Continue Reading

ඡායාරූප සටහන

කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

Published

on

By

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වුයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය.

එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම්  නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසීය.

එමෙන්ම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරිමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළේය.

එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Continue Reading

ඡායාරූප සටහන

උතුරේ උ/පෙළ විශිෂ්ටයන් ඇගයේ (ඡායා)

Published

on

By

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්,  දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස  ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක ජගත් වික්‍රමරත්න, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.

මෙහි ස්තූති කතාව, යාපනය  හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ අතර, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved