ඡායාරූප සටහන

“ගංවතුරේ ගහගෙන යද්දී නයයි මුගටියයි දෙන්නම එකම කොට කෑල්ලට ගොඩ වෙනවා” (ඡායා)

Published

on

පසුගියදා ලන්ඩන් වෙත ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉකුත් සෙනසුරාදා දින (15) පැවති ජනහමුව අමතමින් අදහස් පල කලේය.

“මෑත ලෝක ඉතිහාසයේ 2022 ප්‍රබලතම ජනතා නැගිටීම සිදුවුණා. ස්වේච්ඡාවෙන් ජනතාව පාරට බහින්න පටන් ගත්තා. තරුණ තරුණියන් මාස ගණන් පාලකයාට එරෙහිව සටන් කළා. විදෙස්ගතව සිටි ඔබ ඒ වෙනුවෙන් ආධාර කළා. ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා. ගෝඨාභය ගෙදර ගියා. සටනේ අවසානයේ බාග කොටසක් ඉතිරිවී තිබෙනවා. අපේ ස්ථාවරය වුණේ පාර්ලිමේන්තුවත් විසුරුවා හැරිය යුතුයි කියන එකයි. ජනතාවගේ විරෝධතාවය නිසා ගෝඨාභය ගෙදර යනවා. ලෝක ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුණු ලෙස ගෝඨාභය පළවා හරින්න ආ ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. අද අපේ රටේ පාලනය යනු විකෘතිමය පාලන බලයක්. එදා ලක්ෂ ගණන් ජනතාව පාලකයාට විරුද්ධව නැගිට්ටා. එය සාර්ථක ජයග්‍රහණයකින් කෙළවර කර ගන්න නොහැකි වී තිබෙනවා. නමුත් දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා. අද ජනතාව ඡන්ද අවස්ථාව උදාවෙන තෙක් සියලු දුක් වේදනාවන් ඉවසාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කල්ලියේ කවරෙක් හෝ ඡන්ද නොතියා බලයේ ඉන්න සූදානම් වෙනවා නම්, ලෝක ඉතිහාසයේ සිදුවන විශාලම ජනතා නැගිටීම වළක්වන්න රනිල් වික්‍රමසිංහට පුළුවන්කමක් වෙන්නේ නැහැ. පාලකයා ඡන්දෙ පිළිබඳ දෙගිඩියාවකට පත්ව තිබෙන්නේ අන් කවරක්වත් නිසා නොවෙයි, ඉතිහාසයේ මෙතෙක් බලය මාරු වුණු ආකාරය වෙනස් වෙමින් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලය මාරු වෙමින් තිබෙන නිසයි.

එකතු විය හැකි සියල්ලෝම දැන් එකට එකතු වෙමින් තිබෙනවා. කප් දෙකක තිබෙන පෘට් සැලඩ් එක කප් එකකට දාන්න සාකච්ඡාවක් කළා. මීට සතියකට පෙර කබීර් හෂීම්ගෙ ගෙදර රාජිත සේනාරත්න ස.ජ.බෙ. මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් සමග සාකච්ඡාවක් කළා. දෙකට බෙදිලා ඉල්ලුවොත් එන්.පී.පී.එක දිනනවා. ඒක අනතුරක්ලු. මෝදර ධීවර වරාය අවුරුදු 25කට බදු දෙනවා. බදු දුන්නේ රජයේ ඇස්තමේන්තු මුදලට වඩා අඩු මුදලකටයි. පරීක්ෂණ වාර්තා සියල්ල තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. පරීක්ෂණ කරලත් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු වාර්තාත් තිබෙනවා. ඒ නිසා මේ ජනතා පෙරළිය රාජිතට අනතුරුදායක බව ඇත්ත. දූෂිතයන්ට, අපරාධකරුවන්ට එන්.පී.පී.ය බලයට පැමිණීම අනතුරක්. ඒ නිසා රහස් සාකච්ඡාවක් දියත් වෙලා තිබෙනවා. මේ පාර්ශ්ව දෙක දෙකක් හැටියට ඉදිරිපත්වීම භයානකයි, ඒ නිසා එකට එකතු වෙන්න සාකච්ඡා දියත් වෙලා තිබෙනවා.

මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම එක වේදිකාවකට ගොඩනගින්න බලකර තිබෙනවා. ලංකා ඉතිහාසයේ සියලු ජනාධිපතිවරුන් එකට නගින වේදිකාවක් අපට හමුවෙනවා. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් ඉදිරි ජනාධිපතිවරණයේදී අපට එක වේදිකාවක දකින්න පුළුවන්. මොවුන් 1994 සිට 2024දක්වා අවුරුදු 30ක් බෙදී සිටි කණ්ඩායම්; එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටි කණ්ඩායම්; නමුත් අද එකම වේදිකාවට ගොඩවදින්න සිදුවී තිබෙනවා. ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම පන්නයේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මාධ්‍ය නාලිකාවල හැසිරීම් සාමාන්‍ය කාල පරිච්ඡේදයකට වඩා එහා ගිහින් තිබෙනවා. පත්තරේ කියවන විට පත්තරේ තියෙන ඒවාට වඩා වැඩියෙන් කියවන ඒවා වැඩිවෙලා. තව තවත් ජනතාවගේ විශ්වාසය, බැඳීම තහවුරු කර ගැනීම තමයි ජයග්‍රහණය සඳහා අපට තිබෙන එකම මාවත. එක්සත් රාජධානියේ වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් මේ හමුවට පැමිණීමෙන් කියාපාන්නේ, ඒ බැඳීම, විශ්වාසය ජාතික ජන බලවේගයට ලබාදීමට සූදානම් බවයි. අපි ආවේ ඒ සඳහා මැදිහත් වෙමු කියා, ඔබට ආරාධනා කරන්න.”

ජනහමුවට පැමිණි පිරිස ජාතික ජනබලවේගයේ නායකයාගෙන් ප්‍රශ්න විමසීම සිදුවූ අතර ඒ වෙනුවෙන් ද පිළිතුරු ලැබිණි.

ප්‍රශ්නය: අකාර්යක්ෂම සහ නිලධාරීවාදයෙන් පිරුණු රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා මිතුරු රාජ්‍ය සේවයක් බවට පත්කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගන්නේ කොහොමද ?

පිළිතුර:
“රාජ්‍ය සේවයක් අපේ රටට අත්‍යවශ්‍යයි. අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. රාජ්‍ය සේවය ලබාදීම සඳහා දරන වියදම් ප්‍රමාණයයි බර. අධ්‍යාපනය, සෞඛ්‍යය, බරක් නොවෙයි. ඒ සේවය ලබාදීම සඳහා වන පිරිවැය බරක් වී තිබෙනවා. දේශපාලන මැදිහත්වීම විසින් ආයතන සේවකයන් පුරවා බිඳවට්ටවා තිබෙනවා. ඔබට අපි සහතිකයක් දෙන්නම්, අපි කිසිසේත්ම ඥාති සබඳතා මත, දේශපාලන සබඳතා මත රාජ්‍ය සේවය මෙහෙය වන්නේ නැහැ. ඒ සේවයේ නියුතු වන්නේ ඒ ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් තිබෙන, නිපුනතාවයක් තිබෙන විෂය පිළිබඳ වූ විශේෂඥයින් විසින් තමයි ඒවා මෙහෙය වන්න ඕනෑ. සෑම රාජ්‍ය ආයතනයකට පත් කරනු ලබන්නේ, එම ක්ෂේත්‍රය පිළිබඳ නිපුනතාවය, හැකියාව තිබෙන කණ්ඩායම් පමණයි.
බඳවා ගැනීම්, උසස්වීම්, මාරුවීම් දේශපාලනය මත සිදුවන්නේ නැහැ. අපි ඕනෑම දේශපාලන පක්ෂයකට අභියෝග කරනවා ප්‍රසිද්ධ රැස්වීමකදී කියන්න කියලා “අපගේ මෙම රැස්වීමට සහභාගී වීම, රජයේ සේවයේ රැකියාවක් ලබා ගැනීමට සුදුසුකමක් නොවේ” කියා.  අපි ඒක කියනවා.  කඩාකප්පල් ක්‍රියාවන් කිරීම සඳහා පිරිස් ඉන්න පුළුවන්. ඒ සඳහා තමයි බලය තිබෙන්නේ. බලය උපදින්නේ ව්‍යවස්ථාවෙන් නොවෙයි. බලය උපදින්නේ මහජනතාවගෙන්. අපට ජනතාව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා බලය ලබාදෙනවා. ව්‍යවස්ථාවෙන් ලබාදෙන්නේ බලය ක්‍රියාත්මක කිරීමේ සීමාව. ජනතාවගෙන් අපට ලැබී තිබෙන බලය ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා යොදවන්න බය වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුහුණු වැඩසටහන් වැනි තවත් බොහෝ දේවල් කරන්න ඕනෑ.”

Trending

Exit mobile version