ඡායාරූප සටහන
ඡන්දෙ දුන්න අයට වැරදුණ බව අනුර කියයි (ඡායා)
Published
12 months agoon
By
nipuni
ජාතික ජන බලවේගයේ ගොවි රැලිය ඊයේ (20) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මෙහිදී ජනබලවේගයේ නායකයා ජනතාව අමතමින් අදහස් දක්වමින් කියා සිටියේ, ගොවි ජනතාව ණය බරෙන් මුදාගෙන අභිමානවත් ගොවි පරම්පරාවක් බවට පත්කල යුතු බවය.
මෙහිදී අනුර දිසානායක මහතා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්,
“ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා විතරක් නොවෙයි අපි අමාරුවෙත් වැටුණා. මේ සැරේ අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක්. මෙච්චර කල් තීන්දු අරගෙන හදපු ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවෙයි. ඒවා ලොකු වලව් නියෝජනය කළ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ ලොකු ධනවතුන් නියෝජනය කළ ආණ්ඩු. ඒගොල්ලන්ගේ ආණ්ඩු හැමදාම තීන්දු තීරණ ගත්තේ ඒ අයට හිතකර ලෙස. ත්‍රීවිල් එකට තුන් හතර ගුණයක බද්දක් ගහනවා. ඒගොල්ලන්ගේ වාහනයට ඒ වගේ ලොකු බද්දක් ගහන්නේ නැහැ. ඕගොල්ලන් ගන්න සෑම සීනි කිලෝ එකකට, පරිප්පු කිලෝ එකට, සබන් කැටේට, බෙහෙත් ටිකට බද්දක් ගහනවා. බදු ගහලා එකතු කරන සල්ලිවලින් ඒගොල්ලන්ගේ අයට බදු නිදහස දෙනවා. පසුගිය දා වාර්තා වුණා කෝටි විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැතිව ඉන්න බව. සීනි කිලෝ එකකට රුපියල් 50ක් විතර, තෙල් ලීටරයට රුපියල් 75ක් විතර බද්දක් ගහනවා. පොදු ජනතාවට බදු ගහනවා. ඒ ගොල්ලන්ගේ හිතමිතුරන්ගේ බදු නිදහස් කරනවා. ඒ මොකද? ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නිසා. තමුන්නාන්සේලා බැංකුවලින් ණය අරගෙන වගා කරනවා. වගාව විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ණය නොගෙවීම නිසා උසාවි ගෙනියනවා. ඒ අපි පොඩි මිනිස්සු නිසා. නමුත් දයා ගමගේ කෝටි 500ක් විතර පොලු තියලා. එයා හෙලිකොප්ටරෙන් යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඇලෝසියස් මුදලාලි, බැංකුවලට පොලු තියලා. එහෙම නැතිනම් බදුවලට පොලු තියලා. එයාලට මොනවත් වෙන්නේ නැහැ. නමුත් තමුන්නාන්සේලා ණයක් අරගෙන ගෙව්වේ නැතිනම් ඉඩම, ගේ දොර වෙන්දේසි කරන තැනට එනවා. මෙපමණ කලක් වෙලා තිබෙන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නාට, ඒ ආණ්ඩු හැමදාම පාලනය කළේ ඒ අයගේ පංතියේ අය ගැන හිතලා.
දැන් යනවා, යුක්තියේ මෙහෙයුම කියලා එකක්. අහුවෙන්නේ කවුද? කුඩු ටිකක් ගහන කෙනෙක්. ඒ අය පොඩි මිනිස්සු. අපේ පංතියේ අය. කෝටි දෙසීයේ තුන්සීයේ කුඩු අහුවෙනවා. එතරම් ප්‍රමාණයක කුඩු ගේන්න පුළුවන් කාටද? ඒ අය අහුවෙන්නේ නැහැ. ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. අම්පාරේ බන්ධනාගාරයට, වැලිකඩ බන්ධනාගාරය ගාවට ගිහින් බලන්න කවුරු හෝ ලොකු මහත්තයෙක් හිරේ ඉන්නවාද? මේ දවස්වල රිමාන්ඩ් එකේ කෙහෙලිය ඉන්නවා. ඒ ගැන හිතන්න එපා. වැරදි කරන්නේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් විතරද? උඩ ඉන්න අය වැරදි කරනවා. නීති කඩනවා. හොරකම් කරනවා. ව්‍යවස්ථා කඩනවා. හැබැයි ඒ ගොල්ලන්ට දඬුවමක් නැහැ. ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. මෙච්චර කාලයක් මේ රටේ පොදු ජනතාව ආණ්ඩු හැදුවාට, පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදාගත්තේ නැහැ. අපි ඕගොල්ලන් හමුවෙන්න ආවේ, අපි ඔක්කෝම එකතුවෙලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදා ගනිමු කියන යෝජනාව කරන්න. මේ ඔබලා ආවේ ඒ ආණ්ඩු එපා වෙලා වෙනස් කරන්න ඕනෑ කියන අදහසින්. දැන් ඔබ කරන්න ඕනෑ තවත් අලුත් අය එකතු කරන එක.
මේ ගොවි ජනපදයේ වකුගඩු රෝගයට ගොදුරු වුණු අම්මලා, තාත්තලා විශාල පිරිසක් ඉන්නවා. මේක ව්‍යසනයක් බවට පත්වෙලා. වකුගඩු නරක් වුණාම ඉඩකඩම් විකුණලා බේත්හේත් කරන්න සිදුවෙලා තිබෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධපුරේ තිරප්පනේ වකුගඩු රෝගයෙන් සිටි ගොවි මහතෙක් මහකන්නයේ අස්වැන්න නෙළා ගෙන ගෙදරට ගෙනත්, මේ වී විකුණලා මට බෙහෙත් කරකොට ගෙදර අය අමාරුවේ වැටෙනවා කියලා ලියුමක් ලියලා ඔහු වස බීලා මැරුණා. ගොවි මහත්තුරු දන්නවා ගෙදරක වකුගඩු රෝගියෙක් හැදෙනවා කියන්නේම ගෙදරම ජීවිත විනාශ වෙනවා. ඉඩකඩම් විකුණන්න වෙනවා. ස්වාමියා මැරෙනවා. පවුලම අනාථ වෙනවා. මේක යුද්දෙටත් වඩා විශාල ව්‍යසනයක්. කුමන හෝ පර්යේෂණයකින් මේ වගුකඩු රෝගයට හේතුව මොකක්ද කියා සොයාගෙන තිබෙනවාද? ඒවා ගැන පර්යේෂණ කරන්න උනන්දුවකුත් නැහැ. දේශපාලකයෙකුට වකුගඩු රෝගය හැදුණා කියා ඔබ අසා තිබෙනවාද? හැබැයි ඩෙංගු හැදුනා කියා අසා තිබෙනවා. ඩෙංගු වඳ කරන්න මාරාන්තික පොරයක් තිබෙනවා. ඒ ඇයි? මදුරුවා ඒගොල්ලන්ටත් විදින නිසා. අද වකුගඩු රෝගය හැදිලා කෙනෙක් මිය ගියාම මරණ සහතිකේ ලියන්නේ “හඳුනා නොගත් හේතුවක් මත වකුගඩුව අක්‍රීය වී මියගොස් ඇත” කියලා. මේ 21වැනි සියවසේ අපේ ගම්වල අම්මලා තාත්තලා මියෑදෙනවා ලෙඩේ මොකක්ද කියා දන්නේ නැතිව. ඒ ගැන සොයන්න මේ පාලකයන්ට ඕනකමක් නැහැ. තවම හේතුව සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. හේතුව නිසි පර්යේෂණයන් නොකිරීම. අද හඳේ පස් පරීක්ෂා කරන ලෝකයේ දෙහිඅත්තකණ්ඩියේ හඳුනා නොගත් රෝගයකින් මිනිසුන් මැරෙන ලෝකයක් තිබෙනවා. මේ පාලක කණ්ඩායම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසයි අපට පොදු ජනතාවගේ ආණ්ඩුවක් ඕනෑ වෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉතා වේගයෙන් පර්යේෂණ කරලා, මේ රෝගයට හේතුව සොයා ගන්නත්, මෙය පැතිරී යාම වැළැක්වීමටත් ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් දෙනු ලබන ජීවන වියදම් දීමනාව මීට වඩා වැඩි දීමනාවක් බවට පත්කරනවා. හොරකම් කරපු ධනය අරගෙන ඒ අයට බෙදා දෙනවා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පළමු කාර්යභාරය වන්නේ පොදු ජනතාව රැකබලා ගැනීම. මේ පළාත්වල වන අලි අනතුරු නිසා කොතරම් විනාශයක් වෙනවාද? වගාව, දේපොළ, නිවාස, ජීවිත සියල්ල වන අලි විනාශ කරනවා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුව කළේ ‘වල් අලියා’ වෙනුවට ‘වන අලියා’ කියා කියන්න ගැසට් ගහපු එක. ඒ වගේම අලිත් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් තිබෙනවා. වන අලි තර්ජනය වැඩිවෙමින් තිබෙනවා. දේශපාලකයන් මැදිහත් වෙලා අලි ඉන්න කැලෑ, ඔවුන්ගේ කොරිඩෝ ටික, ඔවුන්ගේ ආහාර ටික විනාශ කළා. අලියා ගමට තල්ලු කළේ මේ ආණ්ඩු. අද මේක ව්‍යසනයක් බවට පත්වෙලා. අවුරුද්දකට ආසන්න වශයෙන් මිනිස්සු 200ක්වත් අලි ගහලා මැරෙනවා. මේ මැරෙන්නේ ගම්වල අම්මලා, තාත්තලා, දරුවන්. පාලකයන්ට ගාණක් නැහැ. සාමාන්‍ය ජනතාව ගැන තෙතමනයක් නැති පාලකයෝ. අපේ සැලසුම අලි ගමට පැනීම වැළැක්වීම සඳහා හොඳ විදුලි වැටක්, ගමේ පොදු ජනතාව එකතුවෙලා බලා ගන්න විදුලි වැටක්, නැවත අලි කොරිඩෝ ටික විවෘත කර, කැලෑ මැද තිබෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා ඔවුන්ට වතුර ටික, කැලෑ වර්ධනය වෙලා ඔවුන්ගේ ආහාර ටික සැපයෙන ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නැගුවොත් වල් අලි තර්ජනය නතර කර ගන්න හැකිවෙනවා. ඒගොල්ලන් ඒවා නොකළාට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් එය ඉටුකරනවා.
ගමේ ජනතාවට වගා කරන්න ඉඩමක් නැත්නම්, ආදායමක් ලැබෙන රස්සාවක් නැතිනම්, ඒ පවුල දුප්පත්. දුප්පත්කමේ විෂය චක්‍රයට හවුල් වුණු අය දුප්පත්කමින් හැමදාම මිරිකිලා ඉන්නවා. රස්සාව අහිමි වීම, කුඹුර සින්නවීම නිසා දුප්පත්කමට පත්වුණු අය ඉන්නවා. ආදායම් ඉපයීම් නැති නිසා, ඇඟට ශක්තිය නැති නිසා දුප්පත් වූ අය ඉන්නවා. ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයකින් පෙළෙනවා. මේ නිසා දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් දෙන්න නොහැකිව තියෙනවා. දුප්පත්භාවය නිසා නූගත්කමත්, ඒ නිසා විවිධ අපරාධයන්හි යෙදීමත් සිදුවෙනවා. දුප්පත්භාවය නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් නැති වෙනවා. ඒ නිසාම කෙසඟ සිරුරක්, මන්දපෝෂණයත් ඇති කරනවා. ශරීරයත් මොළයත් නිසි පරිදි වර්ධනය වෙන්නේ නැහැ. දුප්පත්කම නිසාම ඉක්මනින්ම මහලු වෙනවා, මියැදෙනවා. දුප්පත්භාවය ව්‍යසනයක් වෙලා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පළමු කොටම ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. මේ වෙලාවේ දුප්පත් ජනතාව රැකබලා ගන්න ඕනෑ. ඒ ඒ අයට අවශ්‍ය වන සහනාධාර ලබාදෙනවා. රටේ සියලුම පුරවැසියන්ට, ආහාර, සෞඛ්‍යය, දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා. අනාගතයේ ක්‍රමානුකූලව ධනය උපද්දන, වත්කමක් ඇති කරන පවුලක් බවට පත්කරන්න සැලැස්මක් අපි සකස්කොට තිබෙනවා. කිසිම පුරවැසියෙක් හැමදාම ආණ්ඩුවෙන් දෙන සොච්චමකින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් ආඩම්බරයෙන්, ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතියි. ඒ සඳහා තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් තියෙන්න ඕනෑ. හැමදාම ඡන්දයක් එන කොට සාරියට, හාල් කිලෝ දෙකට, බත් පැකට් එකට ඡන්දෙ දෙන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ.
ගෞරවයෙන් ජීවත්වෙන ආර්ථික තත්වයක් හදන්න ඕනෑ. ඒක කරන්නේ කොහොමද? ඔයගොල්ලන් දැනට යෙදෙන්නේ කෘෂිකර්මාන්තයේ එය වඩාත් ලාභදායී කර්මාන්තයක් වෙන්න ඕනෑ. ලෝකයේ බොහෝ රටවල් කෘෂිකර්මාන්තයට සහනාධාර දෙනවා. අපි යළිත් ශක්තිමත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා. කෘෂිකර්මාන්තයේ, කර්මාන්තයේ යෙදෙන අයට අඩු පොලියට, ඇප රහිතව ණයක් ගන්න අවස්ථාව හදනවා. ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගන්න ඕනෑ. ගොවි ජනතාව හිරවී ඇති ණය බරෙන් නිදහස් කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. ගමේ පොලී මුදලාලිට, කඩේ මුදලාලිට, වී ගන්න මුදලාලිට, ලංකා බැංකුවට, මහජන බැංකුවට, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන තැනටත් ණයයි. ණය උගුලකට හිරවුණු පුරවැසියෙකුගේ ආර්ථිකය යහපත් තත්වයට පත්වෙන්නේ නැහැ. මේ ගොවියා කමතෙන්ම වී ටික විකුණලා ණය ගෙවලා හිස් අතින් ගෙදරට එනවා. අපි ගොවියා මේ ණය උගුලෙන් මුදා ගන්න ඕනෑ.
2001 පරිවාස ආණ්ඩුවේදි අපි රුපියල් 25,000ට වඩා අඩු සියලු ගොවි ජනතාවගේ ණය කපාහරින්න යෝජනා ගෙනාවා. අපි ඒ වැඩේ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයයි හිටියේ. ගොවි ජනතාව හිරවෙලා ඉන්න ණයවලින් නිදහස් කරන්න යම් ප්‍රතිශතයක් අපි කපා හරින්න ලැහැස්තියි. ගොවි ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කරන්න නම්, පළමු කොටම ණයවලින් නිදහස් කර ගන්න ඕනෑ. ඒ වගේම නැවත ණය උගුලේ හිරනොවෙන වැඩසටහනක් දියත් කරන්නත් ඕනෑ. ඒ නිසා තමයි සංවර්ධන බැංකුවක් ඕනෙ. හැබැයි ණය මුදල අරගෙන හිතෙන හිතෙන දේවල් වගා කරන්න බැහැ. ණය මුදලත් එක්ක කොන්දේසියක් ලැබෙනවා. වගා කිරීමට වඩා සුදුසු දේ මොනවාද යන්න පැහැදිලි කරනවා. ඕනෑම භාණ්ඩයක් වෙළඳපොළට එන්නේ, ඒ භාණ්ඩය කොතරම් වෙළඳපොළට ඕනෑද කියන එක මත. ෆෝන් නිෂ්පාදකයන් වෙළඳපොළට ෆෝන් නිදහස් කරන්නේ රිසර්ච් එකක් කිරීමන් පසුව. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව මේ වසරේ කොතරම් වැඩිවෙලා තිබෙනවාද යන්න පිළිබඳ දත්ත එකතු කරනවා. ඒ අනුව ෆෝන් නිෂ්පාදනය කරනවා. එවිට මිලදී ගන්න එකට සරිලන සැපයුමක් තිබෙනවා. එවිට මිල බිඳ නොවැටී ස්ථාවර වෙනවා. වෙළඳපොළ හැසිරෙන්නේ දත්ත තොරතුරු මත. හැබැයි ඕගොල්ලන් වගා කරන්නේ දත්ත තොරතුරු මතද?
ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. අපි කියනවා ජනතාවට යම් යම් කාලවලදී වෙළඳපොළට අවශ්‍ය වෙන එළවළු, ළුෑණු, මිරිස් මොනවාද කියන එක ගැන. ඒව ද්‍රව්‍ය වගාකරන්න කියා ගොවි ජනතාව දැනුවත් කරනවා, උපදෙස් දෙනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ගොවි ජනතාව වගා කරනවා. වෙළඳපොළේ වුවමනාවන් මත ෆෝන්, රතිඤ්ඤා, සබන් හදනවා. හැබැයි දන්නේ නැති වෙළඳපොළකට එළවළු හදනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ලංකාවේ පළමුවැනි වතාවට සැලසුම් කරන ලද වගාවක්, හඳුන්වා දෙනවා. වෙළඳපොළට සරිලන වගාවන් කරනවා. අද ගොවියා වගාකරන්නේ ඉවට. ඒ වගේම නෙළන අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ යනවා. වාර්තාවල සඳහන් වෙනවා නිෂ්පාදනය කරන සමහර එළවළුවලින් 38%ක් පමණ අපතේ යනවා. පසු අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් හදලා ගොවි ජනතාවගේ ඵලදාවට සාධාරණ මිලක් එන ක්‍රමයක් ජාතික ජන බලවේගයේ අපි හදනවා.
අද ලෝකයේ කෘෂිකර්මාන්තය කරන්නේ ඉවට නොවෙයි. පසට ගැලපෙන්නේ මොනවාද, පසට ඇතුල් කළ යුත්තේ මොනවාද යන්න සෙවීමට තරම් දියුණු වෙලා තිබෙනවා. අමෙරිකාවේ පර්යේෂණ ආයතනයක වැඩ කරන පර්යේෂණ විශාල ගණනක් කළ චීනය, ජපානය වැනි රටවල් ගණනාවක සේවය කර තිබෙන මහාචාර්යවරයෙක් හමුවුණා. ඔහු පස පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. පස කියන එක වැදගත්. කලාපෙන් කලාපෙට පසේ සංයුතිය බලලා යෙදිය යුතු බෝගය තීරණය කරන්න ඕනෑ. ඒ වගේම නයිට්‍රජන්, පොස්පේට්, පොටෑසියම් කොතරම් දාන්න ඕනෙද කියා තීරණය කරන්න ඕනෑ. විද්‍යාත්මක ක්‍රමයක්, වැඩි අස්වැන්න ලබා ගන්න ක්‍රමයක්. එළඹෙන 29දා අපි කොළඹ සූදානම් කර තිබෙනවා, ලෝකයේ වෙසෙන ලාංකිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ, ලංකාවේ විද්‍යාඥයන් පිරිසකුත් සහභාගි කරගෙන අපේ රටේ පර්යේෂණ දියුණු කිරීමේ මණ්ඩලයක් ගොඩනඟනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණ කෙරෙන්න ඕනෑ. තායිලන්තය වගේ රටවල එළවළු, පලතුරු කල්තබා ගැනීම පිළිබඳ පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. අපි කල්තබා ගැනීමේ ක්‍රම පර්යේෂණයන් මගින් ලංකාවට ගේන්න ඕනෑ.
සමහර එළවළු, පලතුරුවලින් පරිභෝජනය සඳහා පමණක් නොවෙයි තවත් දේ නිපදවනවා. රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. වට්ටක්කා, කැරට් වැනි එළවළුවලින් නව නිෂ්පාදනයන් කිරීම් කරන්න ඕනෑ. ගොවියාගේ ජීවිතය කෘෂිකර්මාන්තය අනුව දියුණු වෙන්නේ එහෙම තමයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොවි ජනතාවගේ ජීවිතය ණය බරෙන් නිදහස් කරගෙන ගෞරවයක්, ආඩම්බරයක් සහිත ගොවි පරම්පරාවක් බවට පත්කරන සැලැස්ම අපි හදනවා.
එපමණක් නොවෙයි ගොවි ජනතාවගේ දරුවන්ට අනාගතය නිර්මාණය වෙන්න ඕනෙ අධ්‍යාපනයෙන්. තාත්තා කුඹර කෙටුවාට උරුමයෙන්ම පුතා කුඹුරු කොටන්න ඕනෑ නැහැ. මේ තරුණ පරම්පරාව මේ වියගසෙනුත් නිදහස් කර ගන්න ඕනෙ. තාත්තා නියැලුණු ආර්ථිකයෙන් එළියට එන්නේ කොහොමද? ඒකෙ ප්‍රධානම වන්නේ අධ්‍යාපනය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගම්වල දරුවන්ට නව ලෝකයේ දොරටු විවෘත කර ගැනීම සඳහා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. කොළඹ නගරයේ පාසලත් දෙහිඅත්තකණ්ඩියේ ගමේ ඉස්කෝලෙත් සෑම ඉස්කෝලෙකම දරුවන්ට සමාන, සාධාරණ අත්‍යවශ්‍ය පහසුකම් සහිත අධ්‍යාපනයක් අපි හදන්න ඕනෑ. අලුත් දැනුම සහිත දරුවන් ගම් ඇතුලේ හැදෙන්න ඕනෑ. ලෝකයේ දියුණු තාක්ෂණය ගම් ඇතුලට ගලාගෙන එන්න ඕනෑ. ඒ ගොල්ලන් රස්සාවලට යන්න ඕනෑ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට පත්වෙන්න ඕනෑ. තවත් දරුවන් කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා පොඩි කර්මාන්තයක් පටන් ගන්න ඕනෑ. ඒ නිෂ්පාදනයන් දෙහිඅත්තකණ්ඩියේ අයට විතරක් නොවෙයි මෙතනින් එහාට, වෙනත් ප්‍රදේශවලට විතරක් නොවෙයි ලෝකයටත් ගෙනියන්න ඕනෑ. එහෙම කරන්න නම් නව තාක්ෂණය එකතු කරන්න ඕනෑ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් ලෙස සලකා තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හදන්න. ලක්ෂ ගණන් හදන්න ඕනෑ. අවුරුද්දකදී ඉස්කෝලවලින්, විශ්වවිද්‍යාලවලින් ලක්ෂ තුනක් විතර එළියට එනවා. මේ ලක්ෂ තුන රස්සාවලින් පුරවන්න බැහැ. ආණ්ඩුවේම රස්සා තිබෙන්නේ ලක්ෂ පහළොවයි. පිරවීම නිසාම ඒවායෙත් වැඩිවෙලා තිබෙන්නේ. පෞද්ගලික අංශයේ තිබෙන්නේ ලක්ෂ 24යි. ආණ්ඩුව ඇතුලෙත්, පෞද්ගලික අංශය ඇතුලෙත් විශාල ලෙස රස්සා ඇතිවෙන්නේ නැහැ. සමහර ආයතනවල රැකියාවලින් එළියට දමමින් තිබෙනවා. අලුත් ඉඩක් තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් තුළයි. හැම තරුණයෙක්ම හිතන්න ඕනෑ අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න, අලුත් කර්මාන්තයක් කරන්න, අලුත් ව්‍යවසායකයෙක් වෙන්න. ආණ්ඩුව මැදිහත් වෙලා සංවර්ධන බැංකුවලින් අඩු පොලියට ණය, තාක්ෂණය ලබා ගන්න හැකියාව දෙනවා. ලෝකයේ වෙළඳපොළක් සොයා දෙනවා. දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාවක් නව ව්‍යවසායකයෙක් හැටියට හැදෙනවා. අලුත් තාක්ෂණයත් එක්ක නිෂ්පාදනයේ යෙදෙන, ලෝකයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ සැපයුමේ යෙදෙන මධ්‍යස්ථානයක් බවට දෙහිඅත්තකණ්ඩියේ තරුණ පරම්පරාව පත්වෙනවා. පරණ ව්‍යසනයේ ගොදුරක් බවට පත්වෙලා තිබුණු ගම වෙනස් වෙන්න පටන් ගන්නවා. අලුත් දේවල් බලන්න කොළඹම යන්න ඕන නැහැ. මේවා වෙනස් වෙන්න ඕන. ගම්පිටින් නව පරිවර්තනයකට පත් වෙන්න ඕනෑ.
මේ පාලකයා කවදාවත් එහෙම හිතුවේ නැහැ. තාත්තා ජනාධිපති වුණා, පුතා ජනාධිපති කරන එක තමයි ඔවුන්ගේ සිහිනය වුණේ. තාත්තා ඇමති නිසා පුතා ඇමති කරන්න ඕනෑ වුණා. මහත්තයා මන්ත්‍රී, නෝනත් මන්ත්‍රී වෙන්න ඕනකම තිබුණේ. ඒ ගොල්ලෝ ගම අලුත් පරිවර්තනයකට, අලුත් සංවර්ධනයකට යොමු කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. ගම වෙනස් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. “දුප්පතාගෙ හිතවතා”, “ගමෙන් ආව ගැමියා” කියනවා. මොන හිතවත්කමක්ද, ගැමියා ගැන අධිකරණයත් දන්නවා. පොළොන්නරුවෙන් ආවා කීවත්, ගිරුවාපත්තුවෙන් ආවා කීවත් අවුරුදු දහයක් පහළොවක් හොඳ ගේමක් දුන්නා. ගම් හැදුවේ නැහැ. ඒ ගොල්ලෝ, ඒගොල්ලන්ගේ පවුල් හැදුණා. වටේ ඉන්න කණ්ඩායම් හැදුණා. ගම් පරිවර්තනයක් කළේ නැහැ.
අපි ගම් මේ විදිහට තියාගෙන යනවාද, දියුණුවේ දිසාවට වෙනස් කරනවාද? ජාතික ජන බලවේගයේ ඉතා හොඳ ස්ථාවර සැලැස්මක් තිබෙනවා. ගම, දියුණුවේ දිසාවට පරිවරතනය වෙන ගමක්. මොන වගේ දිසාවක්ද, හොඳ වාතාශ්‍රයක් සහිත නිවසක් තිබෙන, හොඳ ආදායම් මාර්ගයක් තිබෙන පුරවැසියන් ජීවත් වෙන, මානසික නිදහස තිබෙන, ගමේ අය එකතු වෙලා ටීටර් එකක් පෙන්වන, පවුලේ අය එකතුවෙලා චිත්‍රපටයක් බලන්න යන, පවුලේ අය රෑට එළියට ගිහින් කෑම වේලක් කාලා එන ගමක්. මේ සතුට ගමට ඕන නැද්ද? එහෙම ගමක් ඕනෑ. කොළඹ ඔය හැමදෙයක්ම තිබෙනවා. ගම්වල අයට එහෙම ජීවිතයක් නැහැ. ගම්වල මිනිස්සු ජීවිතේ මොකක්ද කියලා දන්නේ නැතිව මැරෙනවා. අපේ දරුවන් ජීවත් වෙන්නේ රස ආහාරයක් මොකක්ද කියලා දන්නේවත් නැතිව. ඒ නිසා මේක අපි පරිවර්තනය කරන්න ඕනෑ. හොඳ අධ්‍යාපනය ලබපු, ලෝකයේ ජයග්‍රහණය කළ දරුවන් ඉන්නවා. කොළඹ විශ්වවිද්‍යාලවල වැඩකරන දරුවන් ඉන්නවා. කුඩා වෘත්තියක් කරන, කුඩා ව්‍යවසායක් කරන, හොඳ ගොවි මහත්තයෙක්, ඉන්න ගමක් ඕන නැද්ද. ගමකට හවස පහ වෙනකොට ගිහින් බලන්න හොඳ සිහියෙන් ඉන්න වැඩිහිටි පිරිමියෙක් සොයා ගන්න අමාරුයි. එකම සතුට හවසට අඩියක් ගහන එක විතරයි. බිරිඳට, දරුවාට එය සතුටක්ද? පවුලට දියුණුවක්ද? ඒක ජීවිතයක් නොවෙයි.
අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු හැට හැත්තෑව වෙන කොට මියැදෙනවා. ඒ කෙටි ජීවිත කාලය රසවත් වෙන්න ඕන නැද්ද. සතුට ඕන නැද්ද. සැනසුම ඕන නැද්ද. ඉපදිලා ගතවෙන මොහොතක් පාසා මැරි මැරි ජීවත් වෙනවා නම්, ඒ ජීවිතවලින් අපට ඵලක් නැහැ. මේ පරිවර්තනයට ලක් කරන ගම්, හොඳ මිනිස්සු හිටිය ගම්, අනෙකා ගැන තෙතමනයක් තිබෙන ගම්, අනෙකා ගැන සොයා බලන ගමක්, සතුටින් ඉන්න ගමක් එදා තිබුණා. ඉස්සර හැමෝම එකතුවෙලා දවස් හතේ නාට්‍ය එළිවෙනකම් එදා බැලුවා. අද එහෙම එකතු වෙලා මොනවා හෝ කරනවාද? අද ඒ සියල්ල නැතිවෙලා. ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. අපි හදන්න යන්නේ සෑම අතින්ම දියුණු ගමක්; මනසෙන්, සතුටින්, ආර්ථිකයෙන්, ජනතාව අතර සමගියෙන් සිටින ගමක්. ජාතික ජන බලවේගය හදන්නේ එහෙම සමාජයක්. අපි ගම්වල ඉපදුණු, ගම්වල හැදුණු වැඩුණු මිනිස්සු. මේවායේ මිනිසුන්ගේ ජීවිත ගතවුණේ කොහොමද කියා අපි දන්නවා. අපේ යහළුවන්ගේ, හිතවතුන්ගේ ජීවිත ගෙවුණේ කොහොමද දන්නවා. ඔවුන් මුහුණ දුන් ව්‍යසනය අපි දැක්කා. අන් හැමට වඩා ජාතික ජන බලවේගයට වගකීමක් සහ අයිතියක් තිබෙනවා ගම්වල දේශපාලනය කරන්නත්, ගම් වෙනස් කිරීම සඳහා පදනම සකස් කිරීමටත්. අපේ දේශපාලනය බඩු බෙදනවා නොවෙයි. අපි දැනුම බෙදනවා. දැනුම ඒකරාශී කරගෙන සමාජ පරිවර්තනයක් කරනවා. මේ ක්‍රමය සියල්ල වෙනස් කරනවා. ඇත්ත ජනතාවගේ ආණ්ඩුවක් අපි හදනවා. ඒක වෙනස් කරන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව කිසිසේත් මග හරවා ගන්නේ නැතිව ප්‍රයෝජනය අපි ගනිමු. තව මාස දෙක තුනක් තිබෙන්නේ. ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට කතා කරන්න. ඔවුන් ජාතික ජන බලවේගය දිසාවට හරවමු. අපි ඔක්කෝම එකතු වෙලා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරලා දියුණු ගමක් අපේ රටේ හදමු”




You may like
-
සබරගමුව සරසවියේ අවුල් හොයන්න ස්වාධීන කමිටුවක්!
-
බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
-
හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)
-
සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක් (UPDATE)
-
විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 07ක්
-
අගමැතිනිය සහ JICA නව ප්‍රධානී අතර හමුවක්
ඡායාරූප සටහන
කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)
Published
1 day agoon
June 5, 2025By
editor
ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ.
කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ජනාධිපති මාධ්‍ය අංශය)




















ඡායාරූප සටහන
“මිහිතලය සමඟ සාමය ගොඩනඟමු”ජගත් පරිසර දින සැමරුමේදී ජනපති කියයි
Published
2 days agoon
June 5, 2025By
editor
කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.
මෙවර ජගත් පරිසර දින තේමාව “ ප්ලාස්ටික් භාවිතය දුරලමු” වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව “දලුලන්න – ඉඩදෙන්න” යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීමට රජය විසින් අපේක්ෂා කෙරේ.
බන්දුලපෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍ර 04ක් සහ නිල්ගල රක්ෂිතය පිළිබඳ ගැසට් පත්‍රයක් පිළිගැන්වීම, පාසල් 03ක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීම, හරිත දුම්රිය ස්ථාන ඇගයීම ආදියද මෙහිදී සිදු විය.
පරිසර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන මෙන්ම සියලුම රාජ්‍ය ආයතන , “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමඟ එක් ව මෙවර පරිසර දිනය සමරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ කතාව
අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.
එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.
ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.
මා අනුරාධපුරේ සිටින කාලේ අනුරාධපුර කියන්නේ බඹයක් කැපුවත් වතුර තිබුණු නගරයක්. එහෙත් දැන් බඹ දහයක් කැපුවත් අනුරාධපුරේ වතුර හොයා ගන්න නැහැ. අප හිතුවේ නැහැ අපේ ජීවිත කාලයේදී අනුරාධපුරේ වතුර විකුණන කඩ පැමිණේවි කියලා. ඉස්සර කඩුගන්නාව නගිද්දී අපට ඇහෙන්නේ රැහැයින්ගේ සද්දෙයි, වතුර සද්දෙයි. අපේ කන් අගුල් වැටුණා. දැන් එහෙම වෙන්නෙ නෑ පරිසරය වියළිලා. අපේ ජීවිත කාලය තුළදීම මේ ඛේදවාචකය අත්දකින පරම්පරාවක් බවට පත් වෙලා.
මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ විශාල ප්‍රමාණයක් රොන්මඩවලින් පිරී තිබෙනවා. පාරිසරික ව්‍යාපෘති ඉදි කිරීමේදී අපි පරිසරය පිළිබඳව කල්පනා කළාද කියා නැවත සිතා බලන්න ඕනේ. අපේ ඉතිහාසයේ මුතුන්මිත්තෝ කවදාවත් මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩනැඟුවේ නැහැ. හැමදෙනාම සිදු කළේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කරලා එයින් ලැබෙන වතුර තැන්නෙදි හරස් කරලා ජලාශ හැදීමයි. මිණිපෙ ඇළ හැදුණේ එහෙමයි. එකල මධ්‍යම කඳුකරයේ තමයි අලි ගහනය වැඩියෙන් තිබුණේ.
අපේ පරිසර පද්ධතිය තුළ කොක්කු රෑන්, සමනල රෑන් අද දකින්න නැහැ. මිනිසා සිදු කළ ව්‍යසනයේ ප්‍රතිඵල අපට පෙනෙන්නට තිබෙනවා. සමනලුන් පෙනෙන්න නැති දේශයක අද කුඩා ළමුන් හැදෙන්නේ. එම නිසා සමනලුන් නැවත පැමිණෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව වෙනස් සංකල්ප තිබෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයට අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන වෙන සංකල්ප තිබිය හැකියි. එහෙත් පරිසරය සම්බන්ධව තිබෙන්න පුළුවන් එකම එක සංකල්පයක් පමණයි. පරිසරය සුරක්ෂිත කර මීළඟ පරම්පරාවට භාර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මෙය ක්‍රියාත්මක කිරීමට පුරවැසියා අප සමග සිටිනවා. ඒ නිසා අපේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවස්ථාවක් තිබෙනවා.
පරිසරය පිළිබඳ ප්‍රශ්නයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සැම කෙනාටම එක තැනකට පැමිණිය හැකියි. ජාතික ප්‍රශ්නය කවරක් වුණත් පරිසර ප්‍රශ්නයේදී එකට සිටිය හැකියි. පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය තුළින් ජාතික ඒකාග්‍රතාව ඇති කළ හැකියි. පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව ජාතික පරිසරය ගොඩනැගීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අප කියන්නේ දලුලන්න ඉඩ දෙන්න කියා.
අපි මේ පසට යළි ජීවය ගෙනැවිත් දිය යුතුව තිබෙනවා. වියළුණු පසක්, ජල පද්ධතිය පතුලටම හිඳුණ පසක්, අපි හැල්මේ දුවලා, කොන්ක්‍රීට් ප්ලාස්ටික් වේගය මත විනාශයට පත් කරන රාජ්‍යයක් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අප හැම දෙනාටම වගකීමක් ඇති බව මා විශ්වාස කරනවා.
එහිදී අපි ලෝක ජාතීන්ට පවසන්නේ මෙයයි. අප ප්‍රමාණයෙන් කුඩා දූපතක් විය හැකියි. එහෙත් අද අපට හෘද සාක්ෂියේ දැවැන්තයකු ලෙස නැඟී සිටිය හැකියි. අපේ රට අප එකට එක් ව යළි ඉතාමත් හොඳ පරිසර පද්ධතියකට හිමිකම් කියන රාජ්‍යයක් බවට පත් කළ හැකියි. එදාට ලෝකය ශ්‍රී ලංකාව දෙස බලා මෙසේ පවසනු ඇති.
මෙන්න පස ආත්මයක් බවට පත් කර ගත් ජාතියක්. මෙන්න මිහිතලය සමඟ ප්‍රතිවිරෝධී නොවෙයි මිහිතලය සමඟ සාමය ඇති කර ගත් ජාතියක්. අද අපි ඉන්නේ මිහිතලය සමඟ ගැටුමක. මිහිතලය සමඟ සාමය ඇති කර ගත යුතු ජාතියක් ගොඩනැඟීම අපගේ සිහිනය බවට පත් කර ගනිමු. ඒ වෙනුවෙන් අප සැම එක් වෙමු.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.











චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.
මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.
මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.
පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.
මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.
ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.
පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.
මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.
මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.
(ඡායා : ශානිකා ජයසේකර)





















සබරගමුව සරසවියේ අවුල් හොයන්න ස්වාධීන කමිටුවක්!

බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)
Trending
-
පුවත්6 days ago
කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්
-
කැබිනට් තීරණ4 days ago
බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය
-
පුවත්1 week ago
“පත්තර මල්ලී” හෙටින් ඉවරයි
-
පුවත්1 week ago
NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි
-
පුවත්1 week ago
ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ