ඡායාරූප සටහන

තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත වේ

Published

on

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ  “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ  තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය

යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා  ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.

මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල  ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version