Connect with us

ඡායාරූප සටහන

තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත වේ

Published

on

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ  “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ  තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය

යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා  ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.

මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල  ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක , හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved