ජාතික ජන බලවේගය විසින් සංව්ධානය කරනු ලැබූ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව පසුගිය දා (2024.06.01 දින) පැවැත්විණි.
ඒ ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල්හිදී ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් මහතා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා විසින් මෙහිදී අදහස් දැක්වීම සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එක්විය.
“වෘත්තිකයා දේශපාලකයාට යටවීම විශාල ප්‍රශ්නයක්”
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් –
මෙයට අවුරුදු 45කට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම ලැබී පළමුවන දේශනය කරන්න ලැබුන අවස්ථාවේ මට විශාල චකිතයක් ඇති වුණා. එතැන් සිට ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘත්තිකයන් ඉදිරියේ දේශන දහස් ගණනක් කළ පසුව අදත් මට ආයෙත් ඒ චකිතය දැනෙන්න පටන් ගත්තා. එයට හේතුව වෙන්න ඇත්තේ අද අපේ රටේ ඉන්න දක්ෂතම කතිකයා, දක්ෂතම දේශකයා වගේම ජනතාවගේ බලාපොරොත්තුව වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරියේ මේ කතාව කිරීමට සිදුවීමයි. රටක් දියුණු කිරීම සඳහා සියලු දෙනාගේ දායකත්වය එකසේ අදාළ වන බව පිළිගනිමින් ඉංජිනේරු ක්ෂේත්‍රයේ දායකත්වය අදහස් කිහිපයක් දක්වන්න කැමතියි. නීති විරෝධී, සමාජ විරෝධී විවිධ බලපෑම් ඉංජිනේරු වෘත්තිකයන්ට එනවා. කොටසක් ඊට අනුගත වන අතර, තව කොටසක් ඉන් ලාභ ලබාගෙන කටයුතු කළත් තව කොටසක් සිය වෘත්තියෙන් ඉවත්වී රට අතහැර යනවා. ඒ තිබුණු ප්‍රශ්නවලින් මිදිය හැකි රජයක් පිහිටුවා ගැනීම සඳහා අද අපි හැමදෙනාම එකට එකතුවී සිටිනවා.
විශාල පිරිසක් රට අත්හැර යන්නේ මුදල් නිසාම නොවෙයි. තමන්ගේ වෘත්තියට නිසි ගෞරවයක් නොලැබීම, දරුවන්ට අධ්‍යාපනයක් ලබාගැනීමට නොලැබීම එයට බලපා තිබෙනවා. සප්තවාර්ෂික නිවාඩුව සඳහා මෙයට අවුරුදු 26කට පෙර මම පවුලේ සියලු දෙනා සමග කැනඩාවට ගියා. ඒ ගිය අවස්ථාවේ මගේ දරුවන් දෙදෙනාට පාසලක් ගුවන් තොටුපොලේදීම ලිපි ලේඛන සම්පූර්ණ කරවිට පාසැලක් සම්බන්ධ කර දුන්නා. දින කිහිපයකින් එම පාසලේ නියෝජිතයෙක් ඇවිත් දරුවන් දෙදෙනා පාසලට බරගැනීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර දුන්නා. ඒ රටට තාවකාලිකව යන අයගේ දරුවන්ට පවා අධ්‍යාපනය ලබාදීම ඒ රටේ වගකීමක් ලෙස සලකනවා. ඉතින් අපි කොතැනද ඉන්නේ. අනෙක් පැත්තෙන් අපේ රටේ වෘත්තිකයන් බිහිකිරීමට සුදුසු අධ්‍යාපනයක් ලබාදුන්නාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වෘත්තිකයන් වෘත්තිකයන් ලෙස හැසිරෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. සෑම වෘත්තියකටම ආචාර්ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර්ධර්මවලට පිටින් ගිහින් මුදල් මත පමණක් තම වෘත්තියේ නියැලෙනවද කියන ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. තුන්වෙනුව අපේ රටේ වෘත්තිකයින් තමන්ට ඉහලින් දේශපාලකයින් ඔසවා තබනවා. ඒක තවත් බරපතල ගැටලුවක්. වෘත්තිකයින් ලෙස ඉහළ අධ්‍යාපනයක් ලබලා වෘත්තීය දැනුමක් එක්රැස් කරගෙන වැඩ කරන්න යනකොට ඉස්කෝලේ ගියපු නැති දේශපාලකයා කියන විදියට වැඩ කරනවා. මෙවැනි ආකාරයේ වෘත්තිකයින් බිහි නොවෙන වගකීම අධ්‍යාපනය බාරගන්න ඕනෑ.
අපේ රටේ දේශපාලකයන් අතර ගරු කියලා කියන්න පුළුවන් පිරිසක් වෘත්තීය මට්ටමින් වැඩකරනකොට මට හමුවෙලා නැහැ. එහෙම පාලකයන් කැබිනට් මණ්ඩලයේ හෝ නිලතල වල අපට හමුවී නැහැ. මට එහෙම අය හමුවෙලා තියෙනවා ගුරු වෘත්තියේ, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සහ තවත රැකියා ක්ෂේත්‍රවල.
අපි බලාපොරොත්තු වෙන්නේ රටට ආයෝජන එනකොට ඉංජිනේරු වෘත්තිකයන්ට අවස්ථාවක් ලැබෙන ආයෝජන. ඒ වගේම යම් ව්‍යාපෘතියක් සිදුකරන විට එහි ප්‍රමුඛතාව වෘත්තිකයින්ට ලැබෙන්න ඕන. දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කළ හැකි, වෘත්තීය දියුණුව ඇති කර ගත හැකි පාලනයක්. එවැනි ආණ්ඩුවක් බිහිකර ගැනීම වෙනුවෙන්.
“අපේ ප්‍රතිපත්ති මූලික විය යුත්තේ නව දැනුම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් වෙතයි”
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුෂාන් විජේසුන්දර –
මේක දේශපාලන වේදිකාවක මම කරන පළමු දේශපාලන කතාව. කිසි දවසක දේශපාලන වේදිකාවක කතා කරන්න නොසිතපු මම වගේ පුද්ගලයෙක් අද ඇයි මෙහෙම කතා කරන්නේ. මෙහෙම කතා කරන්න මාව පෙළඹවූයේ මගේ හෘද සාක්ෂියයි. විශ්වවිද්‍යාලවල අපි ශිෂ්‍යයන් දැනුමෙන් පෝෂණය කරලා, එළියට යැව්වාම ඔවුන්ට තිබෙන අනාගතය මොකක්ද කියලා මගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කළා. දශක ගණනාවක් රට පාලනය කළ අය අපේ ශිෂ්‍යයන්ට වෘත්තිකයන්ට ඉතිරිකර දී තිබෙන්නේ, මෙවැනි ආර්ථික වටපිටාවක් නම්, අපි තවදුරටත් නිහඬව නොසිටිය යුතු බව, මේ ශිෂ්‍යයින්ට හරි අනාගතයක් තියෙනවාද? ඔවුන්ගේ වෘත්තීය මටට්මින් වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවාද? එහෙම පරිසරයක් නැති තත්වයක් තුළ තව දුරටත් නිහඬව සිටිය යුතුයිද? කියලා හෘදයසාක්ෂිය මගෙන්ම ප්‍රශ්න කරනවා. දශක ගණනාවක් රට පාලනය කළ පාලකයින් අපේ ශිෂ්‍යයන්ට උරුම කරදී තිබෙන්නේ මෙවැනි වටපිටාවක් නම් අපි තවදුරටත් නිහඬව සිටිය යුතු නැහැ. අපේ ආර්ථික වර්ධනයට විශාල වශයෙන් බලපාන වෘත්තියකයන් මේ රට අත්හැර යන විට ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ව ආදරයෙන් බාරගන්නවා. වෘත්තිකයන් රට අත්හැර යාම තුළින් කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගත කඩාවැටීම පිළිබඳව පාලකයන්ට කිසිම සංවේදීකමක් නැහැ. මේ නිසා අපි වෘත්තිකයන් රඳවාගෙන රට ගොඩනැගීමට යොදාගන්නා ජාතික ජන බලවේගය වටා සියලු දෙනා ඒකරාශී වියයුතුයි කියා මම යෝජනා කරනවා.
සමහර තරුණ වෘත්තිකයන් ලබන වැටුපෙන් ණය ගෙවලා, බදු ගෙවලා ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. තරුණ වෘත්තිකයන්ගේ මනස එවැනි පීඩාවලින් නිදහස් කළොත් තමයි නව නිර්මාණ කළ හැකි වන්නේ. මේ දේශපාලන වාතාවරණය, ආර්ථික වාතාවරණය සහ සමාජ වාතාවරණය වෙනස් කර නව මාර්ගයක ගමන් කිරීම අපි හැමෝගෙම වගකීමක්. ඒ සඳහා තිබෙන සුදුසුම වේදිකාව ජාතික ජන බලවේගයේ වේදිකාවයි. ඒ වෙනුවෙන් අපි උපරිමයෙන් වැඩකරමු.
ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන් හැටියට අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති සියල්ල දැනුම මත පදනම් වූ නව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට යොමු වීමයි. ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේදී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර සහ සම්බන්ධතාවයක් ඇති කිරීම ඒ අතරින් මූලිකයි. පශ්චාත් උපාධි ලබාගන්නා අපේ තරුණ වෘත්තිකයන් විදේශ රටවලත් අධ්‍යාපනය ලැබීමෙන් පසු අපේ රටට පැමිණ කර්මාන්තවලට යොදා ගැනීමේ වැඩපිළිවෙලක් මේ වනතුරු නැහැ. නව දැනුම සහ තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණශීලී, වැඩදායී කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමේ හැකියාව අපට තිබෙනවා. තව අවුරුදු 10ක් 15ක් ඉදිරිය ගැන හිතුවොත් සිවිල් ඉංජිනේරු කටයුතු වෙනම ඩිජිටල් යුගයකට පරිවතර්නය වන බව පැහැදිලියි. මේ ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකේ දී විවිධ තාක්ෂණයන් එකතු කර ගනිමින් ඉදිරියට ගැනීමේ අභියෝගය අපිට තිබෙනවා. ඒ වගේම දේශීය තාක්ෂණයත් කර්මාන්වලට යොදා ගන්නා දැනුම පදනම් කරගත් නව නිෂ්පාදන ආර්ථිකයකට අපිට ගමන් කළ හැකියි. නව අවශ්‍යතා අනුව අපේ විශ්වවිද්‍යාල ඇතුළේම පූර්ණකාලීන පශ්චාත් උපාධි පාටමාලා ඇති කිරීමත් ඉදිරියේදී කළ යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව දැනුම මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයකට ඉංජිනේරුවන් වන අප හැම දෙනාම එක මිටට එකතු වී සහයෝගය ලබාදියයුතු වෙනවා.