ඡායාරූප සටහන

120කගේ දෑස් පෑදූ චීන – ලංකා වැඩසටහන අවසන් (ඡායා)

Published

on

මේ අතර, චීන – ශ්‍රී ලංකා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරිමේ අරමුණෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) සහ චීනයේ විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමය (Yunnan Provincial People’s Association for Friendship with Foreign Countries) සමග ඒකාබද්ධව සම්පූර්ණයෙන්ම නොමිලේ අක්ෂි කාච බද්ධ කිරිමේ වැඩසටහන (“2023 Brightness Action”) අද (17) අවසන් විය.

මේ යටතේ දිවයිනේ විවිධ පළාත්වලින් වෛද්‍ය නිර්දේශ මත තෝරාගත් පුද්ගලයන් හට නොමිලේ අක්ෂි කාච බද්ධ කිරීම් 120ක් සිදුකෙරුණි.

මෙම වැඩසටහනට ප්‍රධාන වෛද්‍ය සත්කාරකත්වය සපයා තිබුණේ යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහල (The First Affiliated Hospital of Kunming Medical University) වන අතර, දේශීය වෛද්‍ය සත්කාරකත්වය සපයා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයයි.

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහා වන යුනාන් පළාත් සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හා යුනාන් පළාතේ කුන්මිං වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පළමු වැනි අනුබද්ධිත රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට පසුගිය 13දා දිවයින පැමිණ තිබුණි.

ලංකා හොස්පිට්ල් පරිශ්‍රයේ පැවති මෙම වැඩසටහනේ අද (17) දිනයට මෙරට හා චීනයේ නිලධාරීන් රැසක් එක් විය.

මේ වන විට මෙරට සංචාරක නිරත වන යුනාන් පළාතේ ආගන්තුක ආණ්ඩුකාරවරයා – වාන්ග් යූබෝ මහතා, යුනාන් පළාත් විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් – යං මූ මහත්මිය, මෙරට සිටින  චීන තානාපති – චී ජන්හොං මහතා, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය – වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, කුන්මිං වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ සභාපති – සං ජොං මහතා, ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් – එල්.පී. මදනායක මහතා, ලංකා හොස්පිට්ල්ස් හි ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය දීප්ති ලොකුආරච්චි මහතා, ලංකා හොස්පිට්ල්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී – වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා මෙන්ම තානාපති කාර්යාල සහ රෝහල් කාර්ය මණ්ඩල සමාජිකයන්ද මෙම අවස්ථාවට එක්විය.

උත්සවයේ දී ආණ්ඩුකාරවරයා හා සුහද කතාබහක නිරත වූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය – වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය,  සිය කෘතඥතාව පළ කළ අතර, සමාජයේ සෑම තරාතිරමකම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන මෙවැනි තවත් ව්‍යාපෘති ඉදිරියේදීත් මෙරට තුළ පැවැත්වීමට හැකිවේ යැයි පැවසුවාය. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය වීම තමාද බලාපොරොත්තු වන බවයි.

මෙරටට පැමිණ සිටින චීන වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ කතාබස් කළ වාන්ග් මහතා ඔවුන් ගේ මහන්සිය අගය කළ අතර, පුද්ගලයන් 120 දෙනෙකුගේ දෑස් පෙනීම යථා තත්ත්වයට පත් කරමින් ඔවුන් එම රෝගීන්ව චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයේ තානාපතිවරුන් බවට පත් කළ බවද පැවසීය.

(ඡායා : ශානිකා ජයසේකර)

Trending

Exit mobile version