ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ජූනි 22 වැනි දා කොළඹ දී උත්සවයක් පැවැත්වූවාය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ප්‍රධාන අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි වූයේය.
1776 ජූලි මස 4 වැනි දින ඇමෙරිකාවේ ආරම්භක පියවරුන් පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයට එක් රැස් වී නිදහසේ ප්‍රකාශය අත්සන් තැබීම, ලොව වටා ඇමෙරිකානුවන් නිදහස් දිනය ලෙස සමරනු ලැබේ. මේ ප්‍රකාශයත් සමගින් ඇමෙරිකාව ජීවිතය, නිදහස, සන්තුෂ්ටිය සොයා යෑම, සහ පාලිතයින්ගේ එකඟතාවයෙන් පවරන පාලන බලතල යනාදිය ඇතුළත් යම් යම් වෙන්කළ නොහැකි අයිතිවාසිකම් පදනම් කරගත් ස්වයං-පාලනයක් සඳහා මූලික පියවර තබන ලදී.
“නිදහස, ස්වාධීනතාවය සහ සන්තුෂ්ටිය සොයා යෑම හරහා රටක් සංවර්ධනය කරන ගතිකත්වය සහ ව්‍යවසායකත්වය ද එය ආරක්ෂා කරදෙන දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය ද පැන නගින බව අපි තදින් ම විශ්වාස කරනවා. එය එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් සම්බන්ධයෙන් සැබෑවක් වනවා,” යනුවෙන් එම අවස්ථාවේ දී චංග් තානාපතිතුමිය පැවසුවාය.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ පැරණිතම හවුල්කරුවකු බව අවධානයට යොමු කරමින් චංග් තානාපතිතුමිය දෙරටට එක්ව සාර්ථක විය හැකි බව අනොන්‍ය වටිනාකම් සහ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම හරහා පෙන්නුම් කර ඇතිබැව් අවධාරණය කළාය. “ඇමෙරිකාවේ නිදහස් දිනය සහ අප දෙරට අතරේ රාජතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සමරන මේ අවස්ථාවේ අප ඇත්තෙන්ම මේ සමරන්නේ සියළුම පුරවැසියන් සහ ශ්‍රී ලංකා රජය සමගින් ඇති අද්විතීය හවුල්කාරීත්වයයි. ඇමෙරිකානුවන් ලෙස අපට අපගේ ආරම්භක පියවරුන් පැහැදිලිව පෙන්වා දුන් මගක් තිබෙන අතර අදටත් ඇමෙරිකානුවන් ඒ මාර්ගයේ ගමන් කරනවා-වඩාත් පරිපූර්ණ එක්සත්භාවයක් ඇතිකරගැනීම සඳහා අප අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකරනවා, එයට අනුකූලතාවය දක්වනවා. ශ්‍රී ලංකාව සමගින් එක්සත් ජනපදයේ ඇති හවුල්කාරීත්වයේ අරමුණු ඊට වඩා නොගැඹුරු වන්නේ නැහැ.”
මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් මෙසේද පවසා තිබුණි :
ඇමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයින් යන දෙපිරිසටම එක සේ ඵලප්‍රයෝජන සලසන්නා වූ රජයෙන්-රජයට සහ ජනතාවගෙන්-ජනතාවට ඇති සම්බන්ධතා තුළ අප අතර ඇති හවුල්කාරීත්වය දළු ලා වර්ධනය වේ. 1956 සිට USAID විසින් පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, මානව හිමිකම් සහ පාලනය, ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම, සහ පරිසරය ඇතුළු විවිධ අංශ ඔස්සේ ඇ. ඩොලර් බිලියන 2 ඉක්මවන ආධාර ප්‍රමාණයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මැදි වූ පසුගිය වසර තුළ පමණක් ගොවීන්ට ලබාදුන් පොහොරවල සිට කුඩා ව්‍යාපාරවලට ලබාදුන් අරමුදල් ආධාර යනාදී නව ආධාර වශයෙන් ඩොලර් මිලියන 270ක් එක්සත් ජනපද රජයෙන් ලබාදී තිබේ.
කාලයත් සමගින් නොසැලී වර්ධනය වූ අපගේ හමුදාවන් අතර සම්බන්ධතාවය තුළ ද්වීපාර්ශවීය පුහුණු, අභ්‍යාස, සහ තාක්ෂණික හුවමාරු කෙරෙහි අවධානය යොමුකරන අතර විවෘත, නිදහස් සහ සාමකාමී ඉන්දු-ශාන්තිකර කලාපයක් සහතික කිරීම සඳහා දායක විය හැකි ඔරොත්තු දෙනසුළු බලකායක් නිර්මාණය කිරීම සඳහා එය උපකාරී වනු ඇත. ස්වේච්ඡා සේවකයින් 500කට වැඩි පිරිසකට තම ජීවිත කාලයෙන් දෙවසරක් හෝ වැඩි කාලයක් කැප කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සහ ජීවිත කාලයක් පවතින සම්බන්ධතා ගොඩනංවාගැනීමට මග පාදා ඇති සාම බලකාය 1962 පටන් දෙරට අතරේ පුළුල් සංස්කෘතික හුවමාරුවක් සඳහා උපකාරී වී තිබේ.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපල වන අතර, 2022 දී පමණක් ඩොලර් බිලියන 3.3ක අපනයන කටයුතු සිදු කර තිබේ. එසේම පසුගිය වසරේ සිසුන් 3,000ක් අධ්‍යාපන කටයුතු සඳහා එක්සත් ජනපදයට සංචාරය කර ඇති අතර, එක්සත් ජනපදය යනු ශ්‍රී ලංකාවේ දක්ෂතමයින් අධ්‍යාපනය සඳහා තෝරාගන්නා ගමනාන්තයක් වී තිබේ. Fulbright සහ International Visitor Leadership Programs වැනි හුවමාරු වැඩසටහන් හරහා එ.ජ. තානාපති කාර්යාලය අනෙකුත් ශාස්ත්‍රීය සහ වෘත්තීය පුහුණු සඳහා සෘජුවම සහය ලබාදෙන අතර පසුගිය 75 වසරක කාලයක් පුරා එම වැඩසටහන්වලට සහභාගි වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි.
අප විසින් ගොඩනගාගෙන ඇති මේ සම්බන්ධතාවය ජනතාවගෙන්-ජනතාවට ඇති සබඳතා සංවර්ධනය සඳහා; ආර්ථික, දේශපාලන, හා සමාජ ප්‍රගතිය සඳහා; සහ භූගෝලීය වශයෙන් එය වැදගත් වන තරමට ම විවෘතව සහ නිදහස්ව පවතින කලාපයක් සඳහා පදනම සලසාලනු ඇත.
ගත වූ 75 වසර තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇමෙරිකාවේ වූ මිත්‍රත්වය, කැපවීම සහ සහය හරහා බොහෝ දේ සාක්ෂාත් කරගැනීමට හැකි වී ඇති අතර, එය සැමරීම උචිත වේ. ඒ මිත්‍රත්වය, කැපවීම සහ සහය ඉදිරියටත් පවතිනු ඇති අතර ශ්‍රි ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් අපට එක්ව දීප්තිමත් අනාගතයක් ගොඩනැගිය හැකිය.