Connect with us

ඡායාරූප සටහන

“BRI සහයෝගීතාවයේ පදනම එක්ව සැලසුම් කිරීම, ගොඩනැගීම හා ප්‍රතිලාභ ලබා ගැනීමයි”

Published

on

තෙවැනි BRI සමුළුවේ සමාරම්භක උළෙල අමතන චීන ජනාධිපති - ෂී ජින්පිං මහතා (ඡායාරූපය : Xinhua/Wang Ye)

‘එක් තීරයක් එක් මාවතක්’ සහයෝගීතාවය පදනම් වී ඇත්තේ “එක්ව සැලසුම් කිරීම, එක්ව ගොඩනැගීම සහ එක්ව ප්‍රතිලාභ ලබා ගැනීම” යන මූලධර්මය මත බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

චීනයට සාර්ථක විය හැක්කේ ලෝකය හොඳින් ක්‍රියාත්මක වන විට පමණි. චීනය හොඳින් ක්‍රියාත්මක වන විට ලෝකය තවත් යහපත් වනු ඇත,” යැයි ඔහු පැවසීය. 

චීන ජනපතිවරයා මෙසේ පැවසුවේ අද (18) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ වූ තෙවැනි ‘එක් තීරයක් එක් මාවතක්’ (BRI) සමුළුව අමතමිනි.

BRI සහයෝගීතාවය යනු ඉතිහාසයේ නිවැරදි පසෙහි ඇති දෙයක් බවට පසුගිය දස වසර තුළ සාක්ෂාත් කර ගෙන ඇති දේ මගින් පෙන්නුම් කරන බවත්, එය අප කාලයන් ගේ ප්‍රගතිය නියෝජනය කරන අතරම, නිවැරදි ඉදිරි මාර්ගය බවද චීන ජනපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

බලශක්තිය, බදුකරණය, මූල්‍ය කටයුතු, හරිත සංවර්ධනය, ආපදා අවම කිරීම, දූෂණ විරෝධීබව, මාධ්‍ය, සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි බහුපාර්ශ්වික සහයෝගීතා වේදිකා ගොඩනැගීම මෙන්ම ශක්තිමත් කිරීමට චීනය සිය BRI හවුල්කාර රටවල් හා එක්ව කටයුතු කරන බවද ෂී මහතා වැඩිදුරටත් පැවසීය.

අට වැදෑරුම් ප්‍රතිපත්තියක්

BRI වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

අනාගතයේ දී “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ජාත්‍යන්තර බහු පාර්ශ්වීය සම්බන්ධතා ජාලයක් නිර්මාණය කිරීම, ජගත් විවෘත ආර්ථිකයක් සඳහා සහාය දැක්වීම, සහයෝගීතාව උදෙසා ප්‍රායෝගික ප්‍රවේශයක් සැකසීම, හරිත සංවර්ධනය දිරිමත් කිරීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සඳහා අවස්ථා සැලසීම, අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කිරීම,  “එක් තීරයක් – එක් මාවතක්” සාමාජික රටවල් අතර නොබිදෙන සබඳතාවන් දිරිමත් කිරීම සහ එම රටවල් අතර ආයතනික සබඳතා ශක්තිමත් කිරීම එකී අට වැදෑරුම් ප්‍රතිපත්ති වේ.

ඓතිහාසික අවස්ථාවක් 

මේ අතර, උත්සවය අමතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පැවසුවේ BRI ව්‍යාපෘතිය ඓතිහාසික අවස්ථාවක් ලබාදෙන බවයි.

මෙමගින් ගෝලීය යටිතල පහසුකම් සඳහා ලබාදෙන දායකත්වයද ගුටරෙස් මහතාගේ ප්‍රශංසාවට ලක්විය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ සංවර්ධන සහාය නොමැතිව සංවර්ධනයක් ඇතිවිට නොහැකි බවත්, එවැන්නක් නොතිබුණහොත් අත්‍යවශ්‍යව පවතින යටිතල පහසුකම් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් අහිමි වන බවත්ය.

BRI ව්‍යාපෘතිය මෙතරම් වැදගත් වීමට හේතුව මෙයයි, යැයි ඔහු පෙන්වා දුන්නේය.

හරිත නගර, ප්‍රජාවන් සහ ප්‍රවාහන හා බලශක්ති පද්ධතිවලට වඩා වැඩි යමක් ගොඩනැගීමට අපට ඓතිහාසික අවස්ථාවක් ඇති බව BRI ව්‍යාපෘතිය මගින් පෙන්වා දෙන බවද ඔහු පැවසීය.

BRI ව්‍යාපෘතියේ සහයෝගීතාවයද ඇතිව සෑමදෙනාම එක්ව කටයුතු කළහොත් යටිතල පහසුකම් සදහා ඇති අපට යටිතල පහසුකම් සදහා ඇති හදිසි අවස්ථාව ද යටිතල පහසුකම් සකස්කර ගැනීමේ අවස්ථාවක් බවට පත්කර ගත හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ලෝක නායකයන් රැසක්

මෙම සමුළුවේ සමාරම්භව අවස්ථාවට රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක හා ජාත්‍යන්තර සංවිධාන 30ක පමණ නියෝජිතයන් මීට සහභාගී විය.  

සම්බන්ධතාවය, හරිත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, යන මාතෘකා යටතේ ඉහළ මට්ටමේ අනු සමුළු තුනක්ද සම්මන්ත්‍රණ කිහිපයක්ද මෙම සමුළුවට ඇතුළත් වේ.

විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්, කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව්, ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්, ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් යන මහත්වරු ද සමුළුව ඇමතූහ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක් විය.  සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබුණු අතර, පසුව ඔවුහු චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

– ශානිකා ජයසේකර බෙයිජිං සිට

(ඡායාරූප : ෂින්හුවා පුවත් ඒජන්සිය)

ඡායාරූප සටහන

තේ රසත් එක්ක චීන – ලංකා මිතුදම තවත් වැඩි වේවි – චීන තානාපති (ඡායා)

Published

on

By

චීන සංස්කෘතික උත්සවයක් ඊයේ (22) කොළඹදී පැවැත්වුණි.

‘Tea for Harmony – Yaji Cultural Salon 2024’ ලෙස නම් කර තිබුණු මෙම උත්සවයට දකුණුදිග චීනයේ ග්වංෂි ජුවාං ස්වයංපාලන ප්‍රදේශයේ සංස්කෘතික අංග ඇතුළත් විය.

දෙරටේම නැටුම් ගැයුම් වලින් වර්ණවත් වූ මෙම උත්සවයට මෙරට පාර්ලිමේන්තු කතානයක – මහින්ද යාපා අබේවර්ධන මහතා, මෙරට චීන තානාපති – චී ජන්හෙං මහතා, තානාපති බිරිඳ වන ජින් චියැන් මහත්මිය, ග්වංෂි ජුවාං ස්වයංපාලන ප්‍රදේශයේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු වන ලයි ෆූචියැං මහතා, තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

ජාත්‍යන්තර තේ දිනයේ පැවති මෙම උත්සව අවස්ථාවේදී, චීන තේ කලාව අත්විඳීමටත් අවස්ථාව ලබාදී තිබුණි.

මෙම උත්සවය අමතමින් චීන තානාපතිවරයා පවසා සිටියේ තේ වගා කිරීම, නිෂ්පාදනය හා රසවිඳීම සම්බන්ධයෙන් චීනයට හා ශ්‍රී ලංකාවටද දීර්ඝ ඉතිහාසයක් ඇති බවත් දෙරටෙහි ජනතා ගේ ජීවන රටාවල පොදු සිද්ධාන්තයක් බවට පත් වී ඇති තේ පානය,   ඔවුන්ව එකිනෙකාට වඩාත් සමීප කරන වැදගත් පුරුකක් බවට පත්ව ඇති බවත්ය.

ඉදිරියටත්, දෙරට අතර සංස්කෘතික හුවමාරුවන් හා මිත්‍රත්වයන් තවදුරටත් ප්‍රවර්ධනයට හා ශක්තිමත් කිරීමටද තේ ඉවහල් වනු ඇතැයි තමාගේ විශ්වාසය බවත් චී මහතා වැඩිදුරටත් පැවසීය. 

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ඉරාන තානාපති කාර්යාලයට

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත  ඉරාන ජනාධිපති  ඊබ්‍රහම් රයිසි  මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය  ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගන්නා ලදී.

අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති  ඊබ්‍රහම් රයිසි  මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.

(ජනාධිපති මාධ්‍ය අංශය )

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ජල සමුළුව අමතයි

Published

on

By

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වනදා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති.

සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි.

1997 වසරේ සිට සෑම වසර තුනකට වරක්ම පැවැත්වෙන ජලය පිළිබඳ ප්‍රමුඛ සමුළුවක් වන ලෝක ජල සමුළුවේදී ලොව සියලු රටවලට අත්දැකීම් සහ ජල කළමනාකරණය සඳහා සුදුසුම භාවිතයන් පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා වන අතර ජලය, සනීපාරක්ෂක අභියෝග සහ තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධව පාර්ශ්වකරුවන් අතර සංවාද පැවැත්වීම එහි වැදගත් පියවරකි.

ලෝක ජල සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්මික සංවර්ධන සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාළගුණ සංවිධානය එක්වී සිටී.

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක් රාජ්‍ය නායකයන්, අදාළ ආමත්‍යවරු සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුට එක්ව සිටී රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ඉන්දුනිසියානු ජනාධිපතිවරයා විසින් ඉතා මිත්‍රශිලීව පිළිගනු ලැබීය.

මෙම සමුළුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

“10 වැනි ලෝක ජල සමුළුව බාලි හිදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම වෙනුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත පළමුවෙන්ම මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි.

“සාමූහික සෞභාහ්‍ය සඳහා ජලය” යන තේමාව, සියලු ජීවීන්ගේ ජීව රුධිරය වන ජල සම්පත් සහ පරිසර පද්ධති සේවාවන් කළමනාකරණය කිරීමේ සාමූහික වගකීම කෙරෙහි අවධානය යොමු කරවන්නක් බව කිවයුතුයි.

ඒ වගේම මෙය ඉන්දුනීසියාව විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ පස්වන සැසිවාරයේදී (UNEA-5) යෝජනා කරන ලද “තිරසර විල් කළමනාකරණය” යන යෝජනාවට ද අනුකූල වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව “6/13 දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වයේ අඩුවීම හා පරිසර දූෂණය යන කරුණු සම්බන්ධයෙන් තිරසර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ජල ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා ඵලදායී හා සියල්ල ඇතුළත් විසඳුම්” යන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

G20 සංවිධානයේ සභාපතිත්වය තුළ ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ආරම්භ කිරීම සඳහා මුලපිරීම පිළිබඳ ඉන්දුනීසියානු රජයට සුබ පැතීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලංකාව එහි පුරෝගාමී සාමාජිකයෙකු වීමට කැමැත්ත පළ කරනවා.

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුව ද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළයුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා.

මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.

ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි.

ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ, ජලය, අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබා දීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා.

දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එසේ වුවත්, එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල මත රඳා පවතිනු ඇතියි.

2021 දී ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් 2030 වසරේදී ගෝලීය වශයෙන් ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6.7 ක් සහ 2058 වසරේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 22 ක් ආයෝජනය කිරීමට ඇස්තමේන්තු කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා.

යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා.

අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.

එය ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට මුහුණ දීම සඳහා නිවර්තන කලාපයේ ස්වභාවික වනාන්තර, කඩොලාන, වගුරු බිම්, තෘණ බිම්, ජල මූලාශ්‍ර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා වාණිජ ආයෝජන උපයෝගී කර ගැනීමේ නව සංකල්පයක් වෙනවා.

මෙම කලාපය ආරම්භයේ සිටම සමස්ත ලෝකයටම ආරක්ෂක පලිහක් බවට පත්වුණා. එය වර්තමානයේ පවතින ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට විසඳුම් ලබා දීමේ උත්ප්‍රේරක වේගකාරකයක් වෙනවා. නිවර්තන කලාපයේ ආයෝජනය කිරීම, ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් ගෙන එනු ඇතියි.

මෙම සන්දර්භය තුළ, ගෝලීය මිශ්‍ර මූල්‍යකරණය පිළිබඳ වැඩසටහන මගින් ගෝලීය දකුණට අවශ්‍ය මූල්‍ය සම්පත් සකස් කර ගැනිමට හැකියාව ලැබෙනවා. මෙම අරමුදල ආරම්භ කිරීම සඳහා පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 9.4 සහනදායී මූල්‍යකරණය සඳහා හොඳ උදාහරණයක් වෙනවා.

නිවර්තන කලාපීය මුලපිරීමට ද මෙම පහසුකම ප්‍රයෝජනවත් වනු ඇතියි. මෙම සන්දර්භය තුළ බදු පාරාදීසයන්හී තැන්පත් කර ඇති ගෝලීය බදු පැහැර හැරීම් ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය මත 10% ක බද්දක් පැනවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනා කරනවා.

එම වාර්ෂික ලාභය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා තිබෙනවා. මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැංකු සහ මූල්‍ය ආයතනවලට රුසියානු බැංකුවලට පැනවූ සම්බාධකවලට සමාන ආකාරයේ සම්බාධක පැනවීමෙන් මෙම බද්ද ක්‍රියාත්මක කළ හැකියි.

දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම වෙනුවෙන් වන මිශ්‍ර මූල්‍ය ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට මෙම බදු මඟින් අරමුදල් ලබා ගත යුතුයි.

ගෝලීය මිශ්‍ර මූල්‍යකරණ මුලපිරීම, හානි හා පාඩු පිළිබඳ අරමුදල්වලට අතිරේකයක් මිස විකල්පයක් නොවෙයි. මෙම ක්‍රියාමාර්ග දෙක එකට ක්‍රියාත්මක කළ යුතුයි.

එබැවින් සන්ධාන ලේකම් කාර්යාලය පිහිටුවීම සහ G20 සමුළුවේදී මෙම වැඩසටහන පිළිබඳ යෝජනා කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව විසින් සිදු කරන ලද භාරදූර කාර්යය වෙනුවෙන් මෙම සමුළුවේදී අපගේ ප්‍රශංසාව පළ කරමු.

ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මිශ්‍ර සන්ධානය එකට එක්ව ගෙන ඒම සඳහා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දැක්වූ දායකත්වය වෙනුවෙන් නැවතත් අපගේ ස්තූතිය පිරිනමනවා.”

මේ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා විසින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් බාලි සංස්කෘතික උද්‍යානයේ දී ඊයේ (19) පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

(ජනාධිපති මාධ්‍ය අංශය )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved