ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (29) පැවති නිලවරණයෙන් ජස්වර් උමාර් මහතා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස තේරී පත් විය.
ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල මහතා ලබාගත්තේ ඡන්ද 20 ක් පමණි.
ලීග 65 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අද (29) පස්වරු 3.00ට ආරම්භවිය. ලීග 2ක් නිලවරණයට සහභාගී වී නොතිබිණ.
එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනිණ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය යූ.එල්. මජීඩ් ගේ සභාපතිත්වයෙන් යුතු නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ පැවති මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් ද එක්ව සිටියේය.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් 4 දෙනකු මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා 27දා රාත්‍රියේ දිවයිනට පැමිණි අතර මෙම පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු භාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ද ඇතුළත් විය.