Connect with us

ක්‍රීඩා

ඇමරිකානුවන්ගේ ක්‍රිකට් ඇම්ම ඉහලට!

Published

on

ඇමරිකාව කියන්නෙ ක්‍රීඩා වලින් ලෝකෙ අංක එකේ තියෙන රටක්.

ඔලිම්පික් වලත් ඇමරිකාවට තර්ජනයක් ගෙන දෙන්නේ රුසියාව හෝ චීනය පමණයි.

පැසිපන්දු වල අනභිබවනීය ශූරයෝත් ඇමරිකාවයි.

ක්‍රිකට් කියන්නෙ හැබැයි ඇමරිකාවට ආගන්තුක ක්‍රීඩාවක්. 

මීට දශකයකට දෙකකට කලින් ක්‍රිකට් කියන්නෙ මොකක්ද කියල  ඇමරිකානුවො දැන හිටියෙත් නැති තරම්. 

ඇමරිකානුවො කැමති බොහොම සුළු වෙලාවක් එක තැන ඉඳන් බලන් ඉන්න පුළුවන් කෙටි කාලීන ක්‍රීඩා වලටයි.

දවස් පහක් තිස්සෙ ගහන ටෙස්ට් ක්‍රිකට් ඔවුන් වැඩි දෙනෙකුට අරහන්.

ඒත් විස්සයි විස්ස වගේ ක්‍රිකට් ක්‍රීඩාවක් ඔවුන් අතර ටිකෙන් ටික ජනප්‍රිය වෙන්න  ගත්තා. 

ඒ අනුව හතු පිපෙන්න වගේ හැම තැනම ක්‍රිකට් ක්‍රීඩා සමාජ හා ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිවෙන්න පටන් ගත්තා. මිනිස්සුත් මොකක්ද මේ ක්‍රිකට් කියන්නෙ කියල තේරුම් ගන්න උනන්දු වුණා.  පොඩි පොඩි ක්‍රිකට් ක්‍රීඩාංගණ වල ගහන මැච් බලන්න පටන් ගත්තා.

මුලින්ම ඇමරිකන් ක්‍රිකට් වලට ඇතුළත් වුණේ කොදෙව්වොයි.

දැන් දැන් ඉන්දීය හා පකිස්තානු ජාතිකයො ඇමරිකානු ක්‍රිකට් වල ආදිපත්‍යයක් ගොඩ නගන් තියෙනවා.

ලංකාවෙන් ගිය ක්‍රීඩකයොත්  සෑහෙන පිරිසක් ඇමරිකාවේ දැන් ක්‍රිකට් ගහනවා.

කෝසල කුලසේකර, ඩිල්හාර ප්‍රනාන්දු, ඇන්ජෙලෝ පෙරේරා, සුජීව ද සිල්වා , ෂෙහාන් ජයසූරිය , අමිල අපෝන්සු වගෙ ලංකාවට ගහපු ක්‍රීඩකයොත් ඒ අතර ඉන්නවා. 

සජිත් ප්‍රනාන්දු කලක් එහි කණිෂ්ට තේරීම් කමිටු සාමාජිකයකු ලෙසත් කටයුතු කළා.

හැබැයි ලංකාවෙන් ගිය ක්‍රීඩකයකුට ඇමරිකානු පිලේ නියෝජන වරම් හිමි වෙන්න නම් ඒ රටේ අවුරුදු පහක් එහි දේශීය ක්‍රිකට් ගහන්න වෙනවා. 

දැනටත් ඇමරිකානු පිල නියෝජනය කරන්නෙ වැඩි හරියක් වෙන රටවලින් ආ ක්‍රීඩකයොයි. නවසීලන්ත පිල නියෝජනය කළ කොරී ඇන්ඩර්සනුත් දැන් ඇමරිකානු පිලේ නිත්‍ය සාමාජිකයෙක්.

ඇමරිකාව අයිසීසියේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ගෙනාවෙ මෑතක් වන තුරු එහි පුහුනුකරු ලෙස කටයුතු කළ  ලංකාවෙ පුබුදු දසනායකයි. දැන් ඔහු කැනඩා පිලේ පුහුණුකරු හැටියට කටයුතු කරනවා. 

විස්සයි විස්ස ලෝක කුසලාන ආරම්භක තරගයේදී කැනඩාවට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඇමරිකානුවන්ගේ  ක්‍රිකට් උන්මාදය තව තවත් වැඩි වන්නට හේතුවක් වෙන බව නම් නොඅනුමානයි.

ඒ තරගයේදීත් ක්‍රීඩාංගණයේ සිටි ඇමරිකානු ප්‍රේක්ෂකයන්ගෙන් ඒ බව හොඳින්ම පෙනුණා.

කොහොම වුණත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඇමරිකානුවන්ට ඉදිරියේ ක්‍රිකට් වලිනුත් අනෙක් රටවලට අභියෝගයක් වන්නට හොඳ   අඩිතාලමක් වෙන බව සිකුරුයි.

@රංජන්

ක්‍රීඩා

17 වන වරටත් ලෝක ශූරයා වූ ජෝන් සීනා

Published

on

By

ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා,  WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි වරට ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය තුළින් WWE ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.

මීට පෙර ඔහු, රික් ෆ්ලෙයර් සමඟ 16 වර ලෝක ශූරතාවය දිනා සම වාර්තාවක් තබා තිබුණි.

මෙම ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාවේ කොටසක් වන බැවිනි.

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

Published

on

By

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ.

මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය.

මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය.

විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව තරගාවලියට සහභාගි වූ රටවල් රැසක් අතරින් අවම ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 9වන ස්ථානය හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3ක්, රිදී 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් දිනාගනිමින්ය.

Continue Reading

ක්‍රීඩා

දසුන් ශානකට IPL දොරටු විවර වේ

Published

on

By

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත.

ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත.

කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩාකර ඇති ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව ඇත.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 122.46ක් ලෙස සටහන්වී තිබේ.

එමෙන්ම පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා ඇති ඔහු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 33කට හිමිකම් කියයි.

හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කරන ලදී.

මේ වනවිට පිලිප්ස් යළි නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved