ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අනිද්දා (25) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයද යළිත්වරක් කල්දැමීමට දැල්පන්දු නිලවරණ කමිටුව තීරණය කර තිබේ.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව විශේෂ ලිපියක් මගින් මේ බව දැල්පන්දු සම්මේලනයේ සියලුම ලියාපදිංචි අනුබද්ධ සංගම් වෙත දන්වා ඇත.
එහි දැක්වෙන්නේ මෙම නිලවරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය අයදුම්පත් අංක 468/2024 ගොනු කිරීමට පාර්ශව කිහිපයක් කටයුතු කර ඇති බවය.
මේ හේතුව මත දැල්පන්දු සම්මේලන නිලවරණය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ලැබෙන තෙක් අදාළ නිලවරණය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව උක්ත ලිපියේ දක්වා තිබේ.
දිස්ත්‍රිත් සංගම් හා අනුසංගම් දහයක ඡන්ද බලය අහිමි කිරීමට දැල්පන්දු නිලවරණ කමිටුව පසුගිය දිනක කටයුතු කර තිබූ අතර, ඒ හේතුවෙන් ඡන්ද බලය අහිමි වූ සංගම් අභියාචනාධිකරයේ පිහිට පැතීමට කටයුතු කලේය.
කෙසේ වෙතත් අභියාචනාධිකරණය තවමත් නිලවරණය පැවැත්වීමට අදාල මාර්ගෝපදේශ ලබාදී නොමැති නිසා මෙලෙස නිලවරණය නැවත වරක් කල්දැමීමට නිලවරණ කමිටුවට සිදුව ඇත.
පසුගිය මැයි මාසයේ 30 වැනිදා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට මීට පෙර ද යොදා තිබුණි.
ඡන්දය ලබා දීම සඳහා සූදානමින් සිටි යාපනය සහ කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගම් දෙකෙහි ඡන්ද බලය අහිමි කිරීම සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් විමසා බැලීමට අවස්ථාවක් නොලැබී යෑම හේතුවෙන් එම නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය මැයි මස 29 වැනිදා පියවර ගනු ලැබීය.