ක්‍රීඩා

“ධනුෂ්කගේ නඩුකටයුතු වල සියළු වියදම් ඔහුගෙන් පියවා ගන්නවා”

Published

on

ධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා පවසා තිබේ.

“අද” පුවත්පතට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වන විට නඩු කටයුත්තක් පවතින බැවින් ඔහුට කරන උපකාරයක් ලෙස ඒ සඳහා යන වියදම් ක්‍රිකට් ආයතනය මගින් ලබා දුන්නද එම සියළු වියදම් පසුව ඔහුගේ පෞද්ගලික මුදලින් අයකර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර, ‘ක්‍රික්ඉන්ෆො’ වෙබ් අඩිවියට අදහස් දැක්වූ ගුණතිලකගේ නීතිඥ – ආනන්ද් අමරනාත් මහතා පවසා තිබුණේ ධනුෂ්කට වැය නීති වියදම් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගැනීම වෙනුවෙන් තමා කතිකා කරමින් සිටින බවයි.

තමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සෑම තරාතිරමක් හා සන්නිවේදනය කරමින් සිටින බවත්, ගුණතිලක වෙනුවෙන් මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලය වියදම් කළද එය ණයක් ලෙස පසුව ඔහුගෙන් අයකර ගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පෙරේදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ඔහුට අද දිනයේදී ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා තිබුණේ ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇති බවයි.

සබැඳි පුවත් :

ධනුෂ්කට ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක ගුණතිලකට ඇප නෑ!

Trending

Exit mobile version