ක්‍රීඩා

පාපන්දු සම්මේලනයේ ඊමේල් වෙනස, ඩොලර් 30,000 චෝදනාව නිසාද?

Published

on

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පරිපාලනමය සංක්‍රාන්තියක පවතින මොහොතක එහි ඊ-මේල් ලිපිනයන් ඇතුළු තොරතුරු තාක්ෂණික දත්ත පද්ධතියේ වෙනසක් සිදුවීමට හදිසියේම කටයුතු යෙදීම පාපන්දු ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇතැයි වාර්තා වේ.

පාපන්දු සම්මේලන මූලස්ථානයේ මානව සම්පත් අංශය විසින් ඉකුත් 24 වැනිදා වට්ස්ඇප් පණිවුඩයක් යොමුකරමින් එහි අදාළ සියලු ඊ-මේල් ලිපිනයන් අලුත් වන බවත්, එනිසා දිනක කාලයක් ගතවනතුරු පවතින ඊ-මේල් ලිපිනයන් අවහිර වන බවක් දන්වා ඇතැයි පැවසේ.

පාපන්දු සම්මේලනයේ ඉකුත් දා වනතුරු පැවැති පරිපාලනය යටතේ සිදුවූ පාපන්දු සම්මේලනයේ ගනුදෙනු සම්බන්ධ‍යන් දැඩි විවේචන සහ බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක ඒ පිළිබඳ සංවේදී දත්ත සහිත සම්මේලනයේ නිල ඊ-මේල් ලිපිනයන් සහ අදාළ ඩිජිටල් දත්ත සම්බන්ධ‍යන් බලපෑමක් වන කටයුත්තක් හදිසියේම යෙදීම පාපන්දු ක්ෂේත්‍රයේ දැඩි සැකයකට තුඩු දී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ 2297/94 හා 2022.09.17 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඔක්තෝබර් 31 වැනිදා දක්වා සිය නිලතල දැරීමට පාපන්දු සම්මේලන බලධාරීන්ට අවස්ථාව යෙදී තිබුණද ඉකුත් 21 වැනිදා එකී ගැසට් නිවේදනය හදිසියේම අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීමත් සමග පාපන්දු බලධාරීන්ට අනපේක්ෂිත මොහොතක සිය බලතල අහිමි විය.

පාපන්දු සම්මේලනයේ ගිණුමට බැරවිය යුතු ඇමරිකානු ඩොලර් 30,000ක මුදලක් පුද්ගලික ගිණුමකට බැර කිරීමට ප්‍රයත්න දැරීම ඇතුළු රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එම බලධාරීන්ට එල්ල වන චෝදනාවලට අදාළ සාක්ෂි අතුරුදන් කිරීමට මෙවන් මොහොතක ඔවුන්ගේ බලපෑමක් මත මෙම හදිසි තොරතුරු තාක්ෂණික වෙනස්කම සිදුකරන්නේද යන පැනය ක්ෂේත්‍රයේ පිරිස් මතු කරති.

මේ අතර සිය නිලතල අහෝසි වී ඇති මොහොතක පාපන්දු සම්මේලන මූලස්ථානයේ රැඳී සිටියේය යන්න සම්බන්ධයෙන් ඉකුත් 23 වැනිදා කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමට හිටපු සභාපතිවරයෙක් වන අනුර ද සිල්වා කටයුතු කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version