Connect with us

විදෙස්

ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) මාධ්‍ය සේවය ට්‍රම්ප්ට එරෙහිව නඩු දමයි

Published

on

මාධ්‍ය නිදහසට හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට බාධා කිරීම යන චෝදනා යටතේ ධවල මන්දිරයේ ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ඇමරිකානු සුප්‍රකට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය නඩු පවරා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇමරිකානු මාධ්‍ය ආයතනයට ජනාධිපති ට්‍රම්ප් ගේ ඕවල් කාර්යාලයට ඇතුළුවීම හෝ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානා මණ්ඩපය වන AIR FORCE ONE වෙත ගොඩවීම අසීමිත කාලයක් සඳහා තහනම් කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි පසු සිදු කරන ලද නියෝගයක සඳහන් කර ඇති පරිදි, මෙක්සිකෝ බොක්ක හට නව නාමයක් ලබා දෙමින් ඇමරිකානු බොක්ක ලෙස නම් කිරීම APමාධ්‍ය ආයතනය විසින් පිළි ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ධවල මන්දිරය මෙම තහනම පනවා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිරිවර විසින් පනවන ලද මෙම නව නීතිරීතිවලට එරෙහිව AP ආයතනය දැවැන්ත විරෝධතාවයක නිරත වී සිටී. මෙම අනීතික නීතිය මගින් ධවල මන්දිරයේ බොහෝ සිදුවීම්වලට ප්‍රවේශ වීම හා ආවරණය කිරීම අහිමි කිරීමට ගත් තීරණයට අභියෝග කරමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ( AP) ආයතනය නව ඇමරිකානු ජනාධිපතිවරයාගේ පරිපාලනයේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව පෙබරවාරි 21 වන සිකුරාදා නිවේදනය කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයේ සඳහන් පරිදි මෙක්සිකෝ බොක්ක යන නාමය වෙනස් කර ඇමරිකානු බොක්ක ලෙස නම් කිරීම සම්බන්ධයෙන් AP ආයතනය විසින් ට්‍රම්ප් පරිපාලනය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. නමුත් AP ආයතනය පවසන්නේ මෙම මුහුදු බොක්ක මෙක්ෂිකානු මුහුදු බොක්ක ලෙස හඳුන්වන්නේ වසර 400ක කාලයක සිට බවයි.

කෙසේවෙතත් මෙම හඳුන්වා දීමට එරෙහිව මෙක්ෂිකානු ජනාධිපතිනි claudia SHEINBAUM විසින්ද තම විරෝධය පල කර ඇති අතර එයට ඇමරිකානු බොක්ක ලෙස නම් කිරීමට වලක්වන ලෙස ඉල්ලා google-map ආයතනයට ද ලිපියක් යවා ඇත. එමගින් ඇය පෙන්වා දුන්නේ ලෝකයේ සාගර කලාප සම්බන්ධයෙන් නම් වෙනස් කිරීම සිදු කල හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මගින් පමණක් බවය. මෙක්ෂිකානු ජනාධිපතිවරිය විසින් අදාළ නාමය සනාථ කිරීම සඳහන් 1607 දී නිකුත් කල පැරණි ආඥාවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.

AP මාධ්‍ය ආයතනය තම පැමිණිල්ලෙන් පවසා සිටියේ ට්‍රම්ප් විසින් ලබා දුන් නව නාමය පිළිගත්තද එය භාවිතා කිරීම ප්‍රතික්‍ෂේප කරනු ලබන බවයි.

එසේම ඇසෝසියේටඩ් ප්‍රෙස් සිය පැමිණිල්ලේ සඳහන් කරන්නේ ධවල මන්දිරයට හා ජනාධිපති ගුවන් යානා මණ්ඩපයට ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම, මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය උල්ලංඝනය කිරීමක් බවයි. ධවල මන්දිරය AP ආයතනයට ඇමරිකානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සාකච්චා පැවැත්වෙන ඕවල් කාර්යාලයට ඇතුළුවීම හෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් වෙත පිවිසීම අසීමිත කාලයක් සඳහා තහනම් කිරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බවයි.

ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී සුසී වයිල්ස්, ඇගේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ටේලර් බුඩොවිච් සහ ට්‍රම්ප් ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් යන අය චුදිතයින් ලෙස AP පැමිණිල්ලේ නම් කර ඇත.

“හොඳයි අපි ලෑස්තියි ඔවුන්ව(AP) උසාවියේදී හමු වෙන්න,” යයි ට්‍රම්ප් ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් AP පැමිණිල්ලට ප්‍රතිචාර දැක්වූයේ, ඇමරිකානු කොන්සර්වේටිව්වරුන්ගේ ඉහළ ජනකායක් රැස්වූ CPAC සමුළුවේ කතාවකදීය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ඩොනල්ඩ් ට්‍රම්ප් AP ආයතනයට දැඩි ලෙස පහර දෙමින් එය “රැඩිකල් වාමාංශික කල්ලියක්” ලෙස හැඳින්වීය.

කෙසේ වෙතත් අදාළ පැමිණිල්ල සලකා බැලු අධිකරණය මාධ්‍ය ආයතනය සහ ට්‍රම්ප් පරිපාලනය අතර ඇති ආරවුල සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා නොදුන්නේය. එසේම ධවල මන්දිරයට පූර්ණ ප්‍රවේශය සඳහා වන අවසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ අවසන් තීන්දුව ලැබෙන තුරු ඇසෝසියේටඩ් ප්‍රෙස් ඒජන්සිය විසින් ඉල්ලා සිටින ලද දින දහයක තවකාලික ප්‍රවේශය සඳහා වූ අතුරු සහන අයදුම්පතක් සලකා බැලීම ද පෙබරවාරි 24 වන සඳුදා එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය.

නමුත් දෙපාර්ශ්වයටම ලිඛිත තර්ක ඉදිරිපත් කර මාර්තු 20 වන දිනට නඩු විභාගයක් නියම කරන ගන්නා ලෙස විනිසුරු වරයා ඉල්ලා සිටියේය. එහිදී ධවල මන්දිර ප්‍රකාශිකා මෙම අධිකරණ තීරණය සාදරයෙන් පිළිගත් අතර, ඕවල් කාර්යාලයට සහ එයාර් ෆෝස් වන් වෙත ප්‍රවේශ වීම මාධ්‍යවේදීන්ට ලබා දී ඇති මාධ්‍ය වරප්‍රසාදයක්” පමණක් බව නැවත අවධාරණය කර සිටියාය.

“මෙය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනිවිද පෙනෙන පරිපාලනයයි,” යයි ට්‍රම්ප් පරිපාලනය අධිකරණය ඉදිරියේ සහතික කළාය.

නමුත් අධිකරණය සඳහන් කලේ ‘මාධ්‍යයට සහ එක්සත් ජනපදයේ සියලුම පුරවැසියන්ට තමන්ට අවශ්‍ය ආකාරයට අදහස් ප්‍රකාශ කිරීමට හා තෝරා ගැනීමට අයිතියක් ඇති අතර රජයෙන් පළිගැනීමට ලක් නොවිය යුතු »බවයි. තවද මාධ්‍ය නිදහසට බාධා වන අයුරින් එවැනි සීමා කිරීම් සඳහා සහාය නොදක්වන බවට විනිසුරුවරයා නඩු විභාගයේදී රාජ්‍ය නියෝජිතයින්ට අනතුරු ඇඟවූ බව මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍ය නිදහස සහ භාෂණය සහතික කරන එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය අනුව කටයුතු කරන ලෙස මෙහිදී AP විසින් නැවත ඉල්ලා සිට ඇත.

කතුවැකි සටහනක, AP ආයතනයේ නියෝජිතයින් තව දුරටත් පැහැදිලි කළේ, ඇමරිකානු හා මෙක්ෂිකානු මුහුදු කලාපයේ නම වෙනස් කිරීමේ ඇමරිකානු ජනාධිපති නියෝගය එක්සත් ජනපදය තුළ පමණක් බලාත්මක වුවත්, මෙක්සිකෝව සහ අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන එයට අනුකූල වීමට අවශ්‍ය නොවන බවත්ය.

ට්‍රම්ප් විසින් තෝරා ගන්නා ලද නව නම පිළිගන්නා අතරම ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය තවදුරටත් එය එහි මුල් නමින් හඳුන්වනු ඇත,” යයි ප්‍රවෘත්ති ඒජන්සිය තවදුරටත් සිහිපත් කරමින්, මෙක්සිකෝ බොක්ක “වසර 400 කට වැඩි කාලයක් මෙම නම තිබූ” බව අධිකරණය ඉදිරියේ යලි සිහිපත් කර සිටියහ.

1846 දී නිව් යෝර්ක් පුවත්පත් විසින් ආරම්භ කරන ලද AP ආයතනය තුල ලොව පුරා මාධ්‍යවේදීන් 3,000 කට වැඩි පිරිසක් එහි සේවයේ යොදවා ඇත. 2023 වසර සඳහා පමණක් AP අභ්‍යන්තර සංඛ්‍යා ලේඛනවලට අනුව ලිපි 375,000ක්, ඡායාරූප මිලියන 1.24 ක් සහ වීඩියෝ 80,000 ක් ලොව පුරා ප්‍රකාශයට පත් කර ඇත.

පෙබරවාරි 24 වෙනි සඳුදා එමානුවෙල් මැක්‍රොන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති මාධ්‍ය හමුවේදී, වොෂින්ටනයේ ප්‍රංශ මාධ්‍යවේදීන් ට්‍රම්ප් ගේ නියෝගයට විරෝධය පලකරනු වස් හා AP ආයතනයට සහයෝගීතාව පල කරමින් ඔවුන්ගේ AP නියෝජිතයාට ප්‍රංශ කණ්ඩායමේ සිට පළමු ප්‍රශ්නය ට්‍රම්ප් ගෙන් ඇසීමට අවස්ථාව ලබා දුන් බව වාර්තා වේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved