ගාසා තීරයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් විශාල සංඛ්‍යාවකට එම ප්‍රදේශය අත්හැර යාමට නොහැකි බව පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියද (UNRWA) පෙන්වා දෙයි.
එහි ප්‍රධානී ටොම් වයිට් මහතා පවසා ඇත්තේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි Al-Quds වැනි රෝහල් වලින් රෝගීන් ඉවත් කර ගැනීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් බවයි. රෝහල් වෛද්‍යවරුන් මෙන්ම තවත් පුණ්‍යාධාර සමාජ රැසක් ද දිගින් දිගටම මේ බව පවසා ඇත.
ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් මේ වන විට රෝහල් වල මෙන්ම UNRWA පාසැල් වල නවාතැන් ගෙන ඇති බවත්, තමා පසුගියදා එක් රෝහලකට ගිය අවස්ථාවේදී රෝහලෙන් ඉවත්කරගැනීමට නොහැකි රෝගීන් සියගණනක් දුටු බවත් වයිට් මහතා වැඩිදුරටත් පවසයි.
තවද, රෝගීන්ට අමතරව එම ප්‍රදේශයේ වෙසෙන විශාල පිරිසකටද, එම ප්‍රදේශයෙන් ඉවත්ව යාමට අවශ්‍ය මුදල් හෝ ප්‍රවාහන පහසුකම් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
මානුෂීය සංවිධානයක් වන පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සමාජය පවසා තිබෙන්නේ මෙම රෝහල් වලින් රෝගීන් සියලුමදෙනා ඉවත්කරගන්නා ලෙස ඊශ්‍රායලය විසින් තමන්ද දැනුම් දුන් බවයි. මේ වන විටත් අවට ප්‍රදේශයට දිගින් දිගටම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතියි.
(මූලාශ්‍රය : බීබීසී)