බෝවන අක්ෂි වෛරසයක පැතිරීම වැළැක්වීම සඳහා නැගෙනහිර පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ පාසල් 56,000 කට වැඩි ප්‍රමාණයක් මේ සතියේ ඉතිරි දින තුළදී වසා තබන බව එරට අධ්‍යාපන බලධාරීන් අද පවසා ඇත.
පංජාබ් ප්‍රාන්තය යනු පාකිස්තානයේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි.
මේ වසර මුල සිට එහි කන්ජන්ටිවිටිස් (conjunctivitis) නම් අක්ෂි රෝගයෙන් පෙළෙන රෝගීන් 357,000කට වැඩි පිරිසක් හමුවී ඇත.
ඉතා ඉක්මනින් බෝවන මෙම අක්ෂි ආසාදනය වැළඳනු විටදී දෑස් රතු පැහැයට හැරීම, කැසීම සහ ඇස්වලින් ශ්‍රාවය පිටවීම වැනි රෝග ලක්ෂණ ඇති වන අතර, එම රෝගය දෑත් වල ස්පර්ශය ඔස්සේ මෙන්ම කැස්ස සහ කිවිසුම් යාම හරහාද පැතිර යා හැක.
නැගෙනහිර පන්ජාබ් පළාතේ පදිංචිකරුවන් 127,000,000ක් සිටින අතර, මෙලෙස වසා දැමෙන පාසැල් අතර රජයේ පාසල් 56,000 ක් මෙන්ම ස්වාධීන පාසල් දහස් ගණනක් ද ඇතුළත් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙලෙස පාසැල් වැසීම හේතුවෙන් රෝගයෙන් පාසැල් දරුදැරියන් හට ආරක්ෂාවක් ලැබෙනු ඇති බව බලධාරීන් අපේක්ෂා කරයි.
පන්ජාබ් බලධාරීන් පවසා ඇත්තේ ලබන සඳුදා දිනයේදී පාසැල් නැවත විවෘත වන විට, සිසුන් පාසල් ගේට්ටුවලදී පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බවයි.
(මූලාශ්‍රය : AFP)