විදෙස්

රතු මුහුද යට සන්නිවේදන කේබල් 4කට හානි!

Published

on

රතු මුහුද යට පවතින වැදගත් සන්නිවේදන කේබල් කිහිපයක් කැපී ගොස් ඇති බවත්, මේ හේතුවෙන් ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත වලින් 25%කට පමණ බලපා ඇති බවත් වාර්තා වේ.

හොංකොං හි පිහිටි HGC Global Communications නම් සන්නිවේදන සමාගම පවසා ඇත්තේ මෙලෙස රතු මුහුද යට පවතින කේබල් 15න්  04ක් පසුගියදා කැපී යාම හේතුවෙන් දත්ත ගමනාගමනය වෙනතකට හැරවීමට සිදුවූ (reroute) බවයි.

මෙම රැහැන් කැපී යාමට නිශ්චිත හේතුව තවමත් හෙළිදරව් වී නැත.

බීබීසී ලෝක සේවය වෙත අදහස් දැක්වූ අමෙරිකානු නිලධාරියෙකු පවසා ඇත්තේ මෙම රැහැන් හිතාමතාම කපා දැමුවාද නැත්තම් නැංගුරමකට පැටළි හානි වූවාදැයි නිශ්චිතව දැනගැනීමට උත්සහ කරන බවයි.

පසුගිය මාසයේදී යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජය අනතුරු ඇඟවා තිබුණේ ඉරාන සහය ලැබෙන  හූති ව්‍යාපාරය විසින් රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට අමතරව මුහුද යට කේබල් වලටද හානි සිදු කළ හැකි බවයි.

කෙසේවෙතත්, මෙම රැහැන් ඉලක්ක කරගත් බවට හූති ව්‍යාපාරය විසින් පසුගිය සතියේදී ප්‍රතික්ෂේප කරන ලදී. ඔවුන් කියා සිටියේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරවලින් මෙම හානි සිදුවන්නට ඇති බවයි.
ගාසා තීරයේ පලස්තීනුවන් ට සහය පළ කිරීමක් වහයෙන් හූති සටන්කරුවන් විසින් රතු මුහුදේ ගමන් කරන වෙළඳ නෞකා ඉලක්ක කරමින් අවස්ථා රැසකදී ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා විසින් හූති ආයුධ සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබුණි.

(බීබීසී පුවත්)

Trending

Exit mobile version