කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවය.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවය.
තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්තී ඒජන්සිය වාර්තා කර තිබේ.
———————
(පෙර පුවත : පස්වරු 10.44 – 2025/06/23 )
කටාර් රාජ්‍ය සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දමයි
කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ඒ අනුව කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත පියාසර කෙරෙනු ඇත.
මේ අතර කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ, එම කඳවුර තුළ අමෙරිකානු පුරවැසියන් 8,000ක් පමණ වාසය කරන බවය.
මේ අතර කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.
එම දැනුම්දීම මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.