Connect with us

පුවත්

ජනපති හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක් ; නව ගිවිසුම් 3ක්

Published

on

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදු කෙරිණි.

එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී සිදු විය.

නිවාස දස දහසකින් යුත් මෙහි හතරවන අදියරේ එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් මිලියන 1.026ක මුදලක් වෙන් කර තිබුණද නිවාස ඒකකයක් සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය රුපියල් මිලියන 2.8ක් දක්වා සංශෝධනය කිරීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදු විය.

ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති නවයක් කඩිනමින් අවසන් කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැපයීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.

මේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රේක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම යන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (අමුල් ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිකරගත් මෙම ගිවිසුම මගින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය නවීකරණය සඳහා අරමුදල් සැපයේ. ඒ අනුව, පළමු වසර 5 තුළ කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නංවමින් වසර 15ක් තුළ ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණයි.

ඒ යටතේ සතුන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ, ආහාර සහ තාක්ෂණික සහයෝගය ඇතුලු පහසුකම් සපයමින් දේශිය කිරි ගොවීන් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.

ඊට අමතරව පශු සම්පත් ක්ෂේත්‍රය ඩිජිටල්කරණය , කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීම වෙනුවෙන් නව තාක්ෂණය සඳහා ආයෝජනය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව හිමිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් උදා වේ.

එසේම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සමරු ලාංඡනයක් එළිදැක්වීමද අද සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන ලේකම්වරුන් වන පුනීත් අග්‍රවාල්, ජේ. පී. සිං, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් රඝූ පුරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

සබරගමුව සරසවියේ අවුල් හොයන්න ස්වාධීන කමිටුවක්!

Published

on

By

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  මතුව තිබෙන සියලු  දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්)  නිර්දේශ කරන ලදී. 

එහිදී  වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගැනීමකින් තොරව එම පරීක්ෂණ කමිටුව පත්කර, හැකි ඉක්මනින් අදාළ විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා  වූයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ  2023 මූල්‍ය  වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ  පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී  සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී එම සිදුවීමට පාදක වූ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ  අවුරුදු උත්සවය පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලකවරයා එම සංවිධානය කෙරුණු අවුරුදු උත්සවය පිළිබඳව පාලනාධිකාරිය විසින් තමන්ව දැනුවත්ව නොකළ බව පැවසුවේය. නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව එම අවුරදු උත්සවය සඳහා අනුමතිය ලබාදී ඇති බවද ඒ මහතා පැවසුවේය.  එමෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාර තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී තිබූ  බවද ශිෂ්‍ය විනය පාලකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව පාලනාධිකාරිය අතින්  යම් ආකාරයකින් ශිෂ්‍ය ක්‍රියාකාරකම්  පිළිබඳ සොයාබැලීම්, මග හැරී ඇතිබව නිරීක්ෂණ වන බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය. මේ සිදුවීමට අදාළවද නිසි කාර්යක්ෂම ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට කාරක සභාව අමාත්‍යාංශ නිලධාරීන්ට  උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර 2022 වසරේදී ඉඹුල්පේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට කොන්ත්‍රාත් කරුවෙකු සඳහා විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීම පිළිබඳ  සිදුවීමද කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී. පාලනාධිකාරිය විසින් මෙලෙස පස් කපාගෙන යාමට අභ්‍යන්තරව අවසර ලබා දුන්නද  පසුව එය වැරදි ක්‍රියාවක් යැයි  හැඟී යාමෙන් පසු  නිසි අවසරය අදාළ කොන්ත්‍රාත්කරුට ලබා නොදුන් බව  විශ්වවිද්‍යාල බලධාරීහු මෙහිදී අදහස් දක්වමින්  පැවැසුහ. කෙසේ වෙතත්  2022.10.19 වැනි දින අදාළ කොන්ත්‍රාත්කරු මෙ‍ෙලස පස් කපාගෙන යාම සම්බන්ධව  විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ පාලනාධිකාරිය දැනුවත් කලද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක්  ගොනු කර ඇත්තේ 2024 වසරේදී බව කාරක සභාවේදී අනාවරණය  විය.

මේ අතර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන් පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු පෙන්වා දුන්නේ සමස්ථයක්  ලෙස  වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට ආසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ  ලියාපදිංචි නොවන බව  පැවසුහ. කෙසේ වෙතත්  වටකිහිපයක් ලියාපදිංචි කිරීමෙන් පසු අදාළ පුරප්පාඩු සංඛ්‍යාව  සම්පුර්ණ කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ ඒ අනුව රාජ්‍ය  විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීම දැඩිව අවධානය යොමු කිරීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය  කළේය.

තවද 2014 වසරේදී රුපියල් මිලියන 123 කට වඩා වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුනත්  ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යාම නිසා මතුපිට රළු ස්වභාවයක්  ගැනීම හා පැති බැම්ම පුපුරා යමා ආදී  ගැටලු  රැසක් පැන නැගී තිබු බව විගණන කාර්යාලය විසින්  පෙන්වා දෙන ලදී. ඒ අනුව කෝප් කමිටුව දුන් පෙර නිර්දේශ මත ක්‍රීඩාපිටියේ පැති බැම්ම හා ක්‍රීඩාගාරය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය( CECB ) විසින් පිළිසකර කර විශ්වවිද්‍යාලය වෙත බාරදී තිබුනද ක්‍රීඩාපිටිය නිසි ලෙස භාරගෙන නඩත්තු නොකරන බව   විගණනය විසින් පෙන්වා දෙන ලදී. ඒ හේතුවෙන්   ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම හා මතුපිට රළු ස්වභවය  හේතුවෙන් සිසුන්ට ක්‍රීඩා කිරීමේදී දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.  

මේ සම්බන්ධව කරුණු විමසීමේදී  විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පෙන්වා දුන්නේ එම ප්‍රදේශයේ පවතින භෞතික පිහිටීම මත ක්‍රීඩාපිටියේ  වේයන්ගේ පස්  තැනින් තැන මතුවන බවයි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකුට වගකීමක් සහිතව භාරනොදීම පිළිබඳව විමසා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක වන විට එය අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරුවරයෙකු ස්ථිරව පත් නොකොට  වැඩ ඉංජිනේරුවරයෙකු මාර්ගයෙන් අදාළ  අධීක්ෂණ කටයුතු සිදුකිරීම  පිළිබඳවද විගණනය විසින් පෙන්වා දුන් කරුණ පිළිබඳවද විමසා සිටියේය. ඒ සඳහා පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා පෙන්වාදුන්නේ  තමන්ට උපකුලපතිවරයා විසින් එම රාජකාරිය නොපැවරූ බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාපිටිය  නඩත්තු කිරීම සඳහා වරෙක පිරිසිදු කිරීමේ අංශයට භාරදී ඇති අතර  වර්තමානය වනවිට ක්‍රීඩා අංශයට බාර දී ඇති බව  කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර  විශ්වවිද්‍යාලයේ  කාර්ය මණ්ඩලය සඳහා නිවාස සංකීර්ණයක්  ඉදිකිරීමේදී  වැඩ ඉංජිනේරුවරයාගේ සහතිකය මත  අදාළ  කොන්ත්‍රාත්කරු  ඉල්ලුම් නොකළ  ලක්ෂ 26කට අධික මුදලක්  ලබා දී ඇති බවද  මෙහිදී අනාවරණය විය.

එමෙන්ම  විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ  කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම්ගත වැඩ පැහැර හැර,  ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන්ද රුපියල් ලක්ෂ 288කට අධික මුදලක අලාභයක් සිදුව ඇති බව විගණන කාර්යාලය පෙන්වා දී තිබු අතර එම අලාභය වෙනුවෙන් අධිභාර නිවේදනයක්ද නිකුත් කර තිබුනත් මේ වනවිටත් එය අධිභාර කරගෙන නොතිබුණි.  

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක්  නැවත සිදු නොවීම උදෙසා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රමවත්ව අධීක්ෂණය කිරීම සඳහා  ව්‍යාපෘති කළමනාකාරවරයෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබු නමුත් ඔහුද මාස 4කට අඩු කාලයක් පමණක් සේවය කර ඉල්ලා අස්වී  ඇති බව කාරක සභාව මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම  සේවා පහසුකම් වල පවතින ඌනතා ලබාදෙන ලෙස ඉල්ලීම් කලද  එම ඉල්ලීම් ඔහුට නොලැබීම හේතුවෙන්  ඉල්ලා අස්වීම පිළිබඳවද කාරක සභාව තුල දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ගරු නීතිඥ දයාසිරි ජයසේකර, එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ,  සුදත් බලගල්ල, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන,  (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, ලක්මාලි හේමචන්ද්‍ර  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස  කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත භාරදී තිබේ.

Continue Reading

පුවත්

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා සීනි සහ එතනෝල් පිලිබඳ ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලදී..

එහිදී ඔහු කියා සිටියේ සීනි මෙට්‍රික් ටොන් විසිතුන්දහස් අනුහයක් සහ එතනෝල් ලීටර් විසි තුන්ලක්ෂ පනස්දහසක් රජය සතු වන බවය.

එසේම සීනි නිෂ්පාදනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් ඔහු යෝජනා කරනු ලබන්නේ ඒකාබද්ධ වල පැළෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය , ඒකාබද්ධ පාංශුපෝෂක කළමනාකරණය , වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම ආදිය යි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවේ එතනෝල් සඳහා රජයේ අවම මිල වන්නේ රුපියල් 800 බවයි. මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත්පැන් නිෂ්පාදන සමාගම තුලින් මුදල් ලබා ගන්නා බවද, ඔවුන් පිලිබඳ හෙලිදරව් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

එසේම ඔහු සඳහන් කලේ තමන් සතුව ඇත්තේ ගොවියන්ට ගෙවන ප්‍රමාණ අඩු කිරීම හෝ එතනෝල් මිල වැඩි කිරීමේ තීරණය බවය.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ එතනෝල් රුපියල 1200ට ලබා දුන් බවයි.  

වීඩියෝ  – Voice Tube

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved