පුවත්

මළ නගරවලට සංචාරකයො එන්නෑ – ඩයනා

Published

on

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන්  දායකකර ගැනීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

සංචාරක  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ  කළේ,  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද  (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.

“සංචාරක ව්‍යාපාරය නංවාලීමට නම් රාත්‍රී ආර්ථික ක්‍රමවේදයකට (Night Economy ) යා යුතුයි. සංචාරකයෙක්ගේ ගමනාන්ත වන්නේ නිදහසේ සංචාරකයින්ට  ජීවිතය විඳ ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ස්ථානයයි. එම නිසා සංචාරක ගමනාන්තයක් වන ස්ථාන රාත්‍රිය 10.00ට වහනවා නම් සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. මළ නගරවලට (Dead Cities) සංචාරකයෝ කොහොමත් පැමිණෙන්නේ නෑ.  එම නිසා අපේ වෙරළ විඳින්න, සංචාරකයන්ට රාත්‍රිය පුරාම වෙරළේ ගත කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා නීති සකස් කළ යුතු,” යැයි ඇය වැඩිදුරටත් පවසා ඇත.

තවද, මේ වසරේ දෙසැම්බර් මාසයේදී  World Travel Awards තරගාවලියේ අවසාන තරගය ලංකාව තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා රටවල් 117ක් සහභාගීවීමට නියමිත බවත්ද ඇය වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version