කලා

2022 බුකර් සම්මානය ලංකාවේ ෂෙහාන් කරුණාතිලකට

Published

on

2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතාට හිමිව තිබේ.

ඒ, ඔහු විසින් රචිත ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ (The Seven Moons of Maali Almeida) නැමැති කෘතිය වෙනුවෙනි.

චාල්ස් රජු ගේ රාජකීය මෙහෙසිය වන කැමිලා විසින් මෙම ත්‍යාගය ප්‍රදානය කර ඇත.

ලංකාවේ යුද්ධයේ කෲරත්වය පෙන්වන ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු මෙරට පැවති සිවිල් යුද්ධයේදී මිය ගිය ඡායාරූප ශිල්පියෙකු වටා ගෙතුනු කතාපුවතකි. මරණයෙන් අවදි වන ඔහුට සිය මිතුරන් හමුවී සිය මරණය සම්බන්ධයෙන් තමාට ඇති ගැටළු විසඳාගැනීමට සතියක කාලයක් හිමිවේ.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙන අතර, ජයග්‍රාහී කෘතිය වෙනුවෙන් පවුම් 50,000ක මුදල් ත්‍යාගයක් හිමිවේ. කෙටි ලැයිස්තුවේ සිටින අනෙක් කතුවරයන් පස්දෙනා සඳහාද පවුම් 2,500ක මුදල් ත්‍යාගයක් බැගින් ලබාදෙයි.

සිය ත්‍යාගය පිළිගැනීමේදී කරුණාතිලක මහතා පවසා ඇත්තේ මෙසේය : “දූෂණය, ජාතිවාදය සහ ගජමිතුරුකම් සම්බන්ධ අදහස් සාර්ථක නොවූ බවත් කිසිදා සාර්ථක නොවනු ඇති බවත් ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී තේරුම් ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි.”

මෙම කතාපුවත දසවසරක් පුරාවට සිය මනසේ රැඳී තිබුණු බවත් ඔහු පවසා ඇත.

වසර 1992 දී The English Patient චිත්‍රපටයෙන් ජයග්‍රහණය කළ මයිකල් ඔන්ඩාචි ට පසුව බුකර් ත්‍යාගය හිමිකරගත් දෙවන කතුවරයා බවට කරුණාතිලක මහතා පත්ව ඇත.

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු කරුණාතිලක මහතාගේ දෙවැනි නවකතාවයි. ඔහුගේ මංගල නවකතාව වන “Chinaman” සඳහා කොමන්වෙල්ත් ග්‍රන්ථ ත්‍යාගය ඇතුළු සම්මාන රැසක් හිමිවිය.

වසර 1975දී උපත ලැබූ කරුණාතිලක මහතා ගේ ගීත, කතා හා සටහන් Rolling Stone, GQ සහ National Geographic යන ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන විසින් ද ප්‍රකාශයට පත් කර තිබේ.

Trending

Exit mobile version