පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු 26 වන දින සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය. ඊට හේතුව එදිනට ඔහුට වයස අවුරුදු හැටක් සම්පූර්ණ වීමය.
කෙසේ නමුදු 2021 අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට මුදල් අමාත්‍ය ධුරය හෙබවූ බැසිල් රාජපක්ෂ රාජ්‍ය සේවයේ විශ්‍රාම ලැබීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවය විශ්‍රාම වයස නැවත අවුරුදු 60 දක්වා රිවස් කෙරුණි. එසේ බලන විට 2028 මාර්තු 26 වන දින දක්වා තවත් පුරා වසර පහක් පොලිස්පති ධුරය හෙබවීමට වර්තමාන පොලිස්පතිවරයාට තිබූ අවකාශය ගිලිහී ගියේය.
එමෙන්ම වැඩබලන පොලිස්පතිව සිටි චන්දන වික්‍රමරත්න 2020 නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධුරයට පත්කරන ලද්දේ එවකට සිටි ජනපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.
එනමුත් දැන් ජනාධිපතිවරයාගේ තනි මතයට පොලිස්පති ධුරයට තමාට කැමැති අයෙක් පත්කර ගැනීමට නොහැකිය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊට වැට බැඳී තිබේ.
ඒ අනුව මාර්තු 26 වන දින විශ්‍රාම ලබන 35 වන පොලිස්පතිවරයා වෙනුවට 36 වන පොලිස්පතිවරයා පත් කිරීමේ බලය නව ව්‍යවස්ථා දායක සභාවට පැවැරෙන්නේය. ඔවුන්ගේ අනුමැතිය ලැබෙන පොලිස්පතිවරයා ජනපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත්තේය.
මෙවර පොලිස්පති පුටුව සඳහා තරග වැදීමට මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකු පෙළගැසී සිටී. ඔවුන් පොලිසියට බැඳුණු සහ වර්තමාන තනතුරට උසස් කරන ලද දිනයන් අනුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙළින් මෙසේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම්. ඩී. ආර්. එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්නය. මෙතෙක් පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය අනුව නම් පොලිස්පති ධුරය සඳහා නාමයෝජනා යැව්වේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනාගේ නම්ය. ඔවුන් තිදෙනා සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයයි.
මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කරන නිලන්ත ජයවර්ධනත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත ලෙස කටයුතු කරන ලලිත් පතිනායකත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත භාරව කටයුතු කරන දේශබන්දු තෙන්නකෝනුත් මෙම සටනට මුලින්ම ඉදිරිපත් වන නිලධාරීන් වේ. මෙම නිලධාරීන් තිදෙනා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස එකම දින සේවයට බැඳුණු අයය. එහෙත් ජ්‍යෙෂ්ඨත්වය සකස් කිරීමේදී මුලින්ම නිලන්ත ජයවර්ධනත් දෙවනුව ලලිත් පතිනායකත් තෙවනුව දේශබන්දු තෙන්නකෝනුත් මේ වන විට පොලිස්පති තරගය සඳහා ඉදිරිපත් වීමට මුලින්ම සුදුසුකම් සපිරූ නිලධාරීන් ලෙස සැලකිය හැක. එනමුත් ඔවුන් තිදෙනාටම පොලිස්පති ධුරයට පත්වීමට සුදුසුකම් ලැබීමට නම් පසුකර යුතු ලොකු බාධකයක් ඇත්තේය.
දේශබන්දුට හා ලලිත්ට පාස්කු ප්‍රහාර චෝදනා සමානයි
2019 අප්‍රේල් මස 21 වන දින පාස්කු ප්‍රහාරය වන විට රාජ්‍ය බුද්ධි සේවාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූයේ නිලන්ත ජයවර්ධනය. ඔහුට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල විය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් තම මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව පවරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු නිලධාරීන් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කර ඔවුන්ට වන්දි ගෙවීමට නියෝග කළහ. එම පිරිස අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද ඉදිරියෙන්ම සිටීම ඔහුට පොලිස්පති පුටුවට තරග කිරීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස සැලකිය හැක.
මීට අමතරව පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ බස්නාහිර කොළඹ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායකටත්, ඒ අවස්ථාවේ බස්නාහිර උතුර දිසාව භාරව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ටත් පාස්කු ප්‍රහාරය අලළා රාජකාරිය පැහැර හැරීමේ චෝදනා එල්ල වූ අතර මෙම සිද්ධි අරභයා ඔවුන් දෙදෙනාටම චෝදනා පත්‍ර සකස් කෙරුණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම අවසන් වන තුරු එම චෝදනා පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන්ව ඇති බැවින් එම නිලධාරීන් වෙත ඕනෑම අවස්ථාවක එම චෝදනා පත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් පවතී.
මුල් තුනට මිස්වුණොත් IGPකම ප්‍රියන්තට, සංජීවට හෝ මැදවත්තට
යම් හෙයකින් මෙම නිලධාරීන් තිදෙනාම හෝ අයකු ඔවුන්ට එරෙහිව පවතින චෝදනා හේතුකොට පොලිස්පති තනතුරට පත් කිරීමට නුසුදුස්සකු හෝ නුසුදුස්සන් බවට පත්වුවහොත් ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊට පහළින් සිටින නිලධාරීන් තිදෙනා වන දැනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියත්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නත්, පොලිස් ප්‍රවර්ධන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන සජීව මැදවත්තත් යන නිලධාරීන් අතරින් එක් අයකු හෝ සියලුදෙනා ඒ සඳහා සුදුසුකම් ලබන නිලධාරීන් ලෙස සැලකිය හැක.
1999 මාර්තු 05 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් සේවයට එක් වූ මෙම නිලධාරීන් තිදෙනාගෙන් කිසිවකුට මේ වන විට කිසිදු බරපතළ ගණයේ විනය හෝ අපරාධමය චෝදනාවන් මෙතෙක් එල්ල වී නොතිබීම එම නිලධාරීන්ට පොලිස්පති පුටුව සඳහා තරග කිරීමට ලැබී ඇති අතිරේක සුදුසුකමක් වනු ඇත. එබැවින් 2023 මාර්තු මස 26 වන දින හිස්වන 36 වන පොලිස්පති ධුරය සඳහා බොහෝ විට මෙම නිලධාරීන් තිදෙනා අතරින් යමකු පත්වීමේ අවස්ථාව ද අපට පහසුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ.
පොලිස්පති චන්දන වික්‍රමරත්න 2023 මාර්තු මස 26 දින පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ලැබීම වන්නේ ඔහු එදිනට 60 වන වියට එළැඹීම හේතුවෙනි. පොලිස්පති සහ නීතිපති ධුර දරන්නන් වයස අවුරුදු 60ට එළැඹීමත් සමගම අනිවාර්ය විශ්‍රාම ලැබිය යුතු බව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව සඳහන්ය. එහෙත් පසුගියදා බලගන්වන ලද විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙම කරුණු සම්බන්ධව කිසිවක් සඳහන් නොවේ. 21 වන සංශෝධනය ඇති කර ඇත්තේ 19 වන සංශෝධනය තුළ අන්තර්ගතව තිබී 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලරහිත කරන ලද කරුණු ප්‍රතිස්ථාපනය කිරීමක් බව නීති විශාරදයන් අර්ථ දක්වයි. එබැවින් 21 වන සංශෝධනය ඔවුන් සලකන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දිගුවක් ලෙසය. මෙම නීති තර්කය ක්‍රියාත්මක වුවහොත් එළැඹෙන මාර්තු 25 වන දින වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අනිවාර්යයෙන් විශ්‍රාම ලැබිය යුතුය. එහෙත් මේ සම්බන්ධව තවත් නීති විශාරදයන් තර්ක කරන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා වයස අවුරුදු 60 එළැඹීමත් සමගම විශ්‍රාම ලැබිය යුතු බවට කිසිවක් සඳහන්ව නොමැති බැවින් ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අවශ්‍ය නම් වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් දීමේ හැකියාවද ඇති බවය. මෙම තර්කයද අපට පහසුවෙන් බැහැර කළ නොහැකි තර්කයකි. 19 වන පොලිස්පතිවරයා ලෙස 1988 අගෝස්තු මස පළමුවන දින පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබූ අර්නස්ට් පෙරේරාට එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් වසරකට වැඩි කාලයක සේවා දිගුවක් ලබාදීමේ ඉතිහාසයක්ද අප සතුව පවතී. නව පොලිස්පතිවරයා පත්කිරීමේ අවකාශය ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබෙන්නේ වර්තමාන පොලිස්පතිවරයා සේවයෙන් විශ්‍රාම ලැබුවහොත් පමණි.
එහෙත් යම් හෙයකින් ඉහතින් සඳහන් කරන ලද නෛතික තර්කය අනුව වර්තමාන පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් සේවා දිගුවක් දුනහොත් පොලිස්පති තනතුර හිස්වීම නොවන බැවින් නව පොලිස්පතිවරයකු පත් කිරීමේ අවකාශය වර්තමාන ව්‍යවස්ථාදායක සභාව වෙත නොලැබීමේ හැකියාවක්ද පවතී. මේ වකවානුවේ රට තුළ සිදුවන පාලන තන්ත්‍රයේ උඩු යටයටිකුරු වීම් ගැන සැලකීමේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවනු ඇතැයි කිසිවකුට තර්ක කිරීමේ හැකියාවක් ද නොපවතී. මේ අනුව එළැඹෙන සති කීපය තුළ මේ ප්‍රශ්නය රටට සුබවාදී ලෙස විසඳීමේ පරම වගකීම කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙනු ඇත. එම ප්‍රශ්නයට අවතීරණය වීම රටේ නීතිය, නීතියේ ආධිපත්‍යය සුරැකීමට මහඟු බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බැවින් එම ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව වන අප ඉතා උනන්දුවෙන් බලා සිටින බව අවසාන වශයෙන් සඳහන් කර සිටිමු.
– ප්‍රියන්ත ජයකොඩිහිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති