Connect with us

විශේෂාංග

මේ තරුණ අන්දරේලා රට කෙරුවොත් යේමනයත් මීට වැඩිය හොඳයි කියාවි

Published

on

රටේ අර්බුද සඳහා විසඳුම් ලබා දෙන්න පරණ පරම්පරාවට නොහැකි යැයි තරුණයින් දැන් පාලන බලයට අයිතිවාසිකම් කියන්න පාරට බැහැලා “අරගලය” ගැන උදම් අණනවා. පරණ පරම්පරාවේ ඇතැම් බංකොලොත් නායක නායිකාවන් තමන්ව නැවත “market” කර ගන්න “අරගලය” අලුත් විලාසිතාවක් ලෙසින් යොදා ගන්න බලනවා. මේ අලුත් පරණ දෙගොල්ලොම වහා මැතිවරණයක් ඉල්ලනවා.

මැතිවරණ ඉල්ලන පිරිස අතර ජ.ජ.බත් ඉන්නවා. ඒ අය අතර මැතිවරණ දේශපාලනයට ගොඩ බහින්න සූදානම්වන “උගත් තරුණ” නායකයින් කිහිප දෙනෙක්ද ඉන්නවා. මේ අය සමාජයේ පෙනී සිටින්නේ රටේ ප්‍රශ්න සියල්ල විසඳා ගැනීමට පවතින පාර්ලිමේන්තුවේ 225 ම ඉවත් කරලා අලුතින් “උගත් තරුණ” මන්ත්‍රීවරුන් 225 ක් පත්කර ගත යුතුයි කියලා. “System change” සඳහා අරගලය කළ මේ අයගේ බංකොලොත්කම නිරුවත් වන්නේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න 225 වෙනුවට අලුතින් උගත් තරුණ 225 ක් පත්කර ගැනීමට කරන “පුද්ගලයින් change කිරීමේ” කතාවෙනුයි. ඊළග මැතිවරණයේදී තරුණන් 225 ක් පාර්ලිමේන්තුවට පත්කර ගන්න එක තමයි මේ උගත් තරුණයින් දන්න “System change” එක.

ඒ තරුණ අයගෙන් එක තරුණ නායකයෙක් එයාගේ ‘ට්විට’ ගිණුමෙහි තමන් ගැන ලියාගෙන තියෙන්නේ “දේශපාලකයෙක්, වෛද්‍යවරයෙක්, කතුවරයෙක් සහ පරිසරවේදියෙක්. පැතුම් ශ්‍රී ලංකාවේ “System change” එකක් ගැන කතා කරන නව පරපුරේ දේශපාලකයින්ගේ පුරෝගාමිකයෙක්” කියලා. මේ පැතුම් තමයි #GotaGoHome ගාලුමුවදොර විරෝධයට අප්‍රේල් අගදි ගොඩ බැහැලා, ලොකු සිංහ කොඩියක් වනමින් කිව්වේ “මම දැන් කියන්නේ නැහැ 225 ම එළවන්න කියලා. දැන් මම කියන්නේ ඒ 225 අවශ්‍යයි අපට ව්‍යවස්ථානුකූලව “System change” එකකට යන්න. “System change” එක ව්‍යවස්ථානුකූල නොවුනොත් රට අරාජික වෙනවා. රට අරාජික කරන්න අපට අවශ්‍ය නැහැ” කියලා. අරගලයේ “මහා මොලකරු” හැටියට පෙනී සිටින පැතුම් ක(ර්)න කියන්නේ එයාටයි.

එයාගේ අරගලයේ “System change” කතාවට යන්න කලින් “අරගලය” ගැන මේ ටික ඉතාම කෙටියෙන් කියන්නත් ඕනේ. දැන් හැමෝම “අරගලය” කියන වීදි සටන් වලට ගාලු මුවදොර පිටියේ අප්‍රේල් 09 දා ආරම්භ කෙරුණු #GotaGoHome විරෝධතාවය අයිති නැහැ. ගාලු මුවදොර #GotaGoHome විරෝධය අපේ දේශපාලන සංස්කෘතියෙහි සැළසුම් කෙරුණු විරෝධතාවයක් නෙවෙයි. අපේ රටේ සිංහල-බෞද්ධ සංස්කෘතියෙහි විරෝධතා සැළසුම් කෙරෙන්නෙත් ඒවට ලේබල් ඇලවෙන්නෙත් සිංහලෙන්. ඒ නිසා සමාජ මාධ්‍ය ජාල හරහා ඉංග්‍රීසියෙන් #GotaGoHome කියලා විරෝධතාව සැළසුම් කෙරුණේ පැහැදිලිවම මේ රටෙන් පිට වෙනත් තැනකයි. එහි හැම ලේබලයක්ම වගේ, #GotaGoGama, #MainaGoHome වගේ ඉංග්‍රීසියෙන් හැදුනෙත් ඒ මැදිහත්වීම් සමගයි. එහි තිබුණේ විරෝධයට තොග ගැසුණු තරුණයින්ගේ අපේක්ෂාවන්ම නොවෙයි. #GotaGoHome එළියට ගෙනාවේ වෙනත් න්‍යාය පත්‍රයකට අනුවයි. දේශපාලන පක්ෂ හා නායක හිමිකාරිත්වයක් නැතැයි කීවේද එවැනි හිමිකාරිත්වයක් ගාලු මුවදොර තහවුරු වූවානම්, #GotaGoHome විරෝධතාවයේ අයිතිකරුවන් බලාපොරොත්තු වූ අරමුණු ඉටුකර ගැනීමට නොහැකිවේ යැයි තිබූ සැකයයි.

ඒ අනුව මැයි 09 වන දින #GotaGoHome විරෝධයෙන් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කෙරුණු පසු, #GotaGoHome විරෝධය සැළසුම් කළ වුන්ගේ රාජකාරි අවසන් කෙරුණා. ඉන්පසු දින දෙක තුනේ ඔවුන්ගේ අවසන් තේරීම කෙරෙන අතරතුර ඔවුන් ගාලු මුවදොර පිටියෙන් වැඩි ගෝසාවක් නැතිව ඉවත් වුනා. ඒ හිඩැසට පය ගැසුවේ පෙරටුගාමීන්. ඔවුන් හා තරගයට ජ.වි.පෙද ආවා. ඔවුන් #GotaGoHome විරෝධය ගාලු මුවදොර පිටියෙන් එළියට ගන්න ලේබලයත් වහා වෙනස් කෙරුවා. ඔවුන් අපේ සිංහල-බෞද්ධ දේශපාලන සංස්කෘතියට ගැලපෙන ලෙස එහි ලේබලය “ජන අරගලය” කියා වෙනස් කෙරුවා. “අරගලය” කියන ජනප්‍රිය ලේබලය භාවිතාවට ආවේ ඒ දෙවන ප්‍රචණ්ඩ විරෝධතා සමගින් මිස #GotaGoHome විරෝධයෙන් නෙවෙයි.

දැන් නැවත “System change” ගැන කතා කෙරුවොත් #GotaGoHome විරෝධයෙන් කෙරුණේ නවලිබරල් පුද්ගල හා සංවිධානවල ගෝලීය හවුලක් ලෙස සැළකෙන “මොන්ට් පෙලරින් සමාජයේ” ලාංකීය සාමාජිකයින් දෙතුන් දෙනාගෙන් ප්‍රධාන සාමාජිකයා වන, තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහව ජනාධිපති ලෙස පත්කර ගෙන, පොහොට්ටුවේ නායකයින් චීන ආධාරවල කොටු වෙන්නට තිබූ ඉඩ වසා දැමීමයි. රට ගොඩ දැමීමට කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුව ජනාධිපති වික්‍රමසිංහට බාර දෙන එකයි. එයාගේ සහායට “මොන්ට් පෙලරින් සමාජයේ” ශ්‍රී ලාංකීය මතධාරීන් කණ්ඩායමක්ද දැන් අවුරුදු 40 ට වැඩි අසාර්ථක විවෘත වෙළඳපල ආර්ථිකය ගොඩදමන අලුත් සූත්‍ර හදන්න පටන් අරගෙන තියෙනවා.

ඒ අතර මේ පැතුම් ක(ර්)න ජා.මූ.අරමුදල සමග නවලිබරල් ආර්ථිකයෙන් රට දියුණු කරන ආකාරය වරක් රනිල් වික්‍රමසිංහටත් වඩා නිරුවත් නවලිබරල්වාදියෙකු විදියට යූ-ටියුබ් කතාවක් කෙරුවා. ඔහු ඒ කතාවෙන් කියන්නේ, යහපාලන ආණ්ඩුව 2016 දී ජා.මූ. අරමුදල සමග ඇති කරගත් වැඩසටහන ඉදිරියේ ආර්ථික අර්බුදයක් එන බව දැනගෙන ඊට විසඳුම් සඳහා කල් තියා ඇති කරගත් වැඩසටහනක් කියලා. ආර්ථික කලමනාකරණය නිවැරදිව කරන්නේ එහෙමලු. ඒ වුනත් පාස්කු ඉරිදා බෝම්බ ගහලා, මෛත්‍රී සහ මහින්ද දවස් 52 ක ආණ්ඩු හදලා, 2019 නොවැම්බර ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න තිබුණ නිසා ඒ වැඩසටහන හරියට ක්‍රියාත්මක කරගන්න බැරි උනාලු.

ශ්‍රී ලංකාවේ “System change” ගැන කතා කරන නව පරපුරේ දේශපාලකයින්ගේ පුරෝගාමියා පැතුම් ක(ර්)න ඒ කියන විදියට පාස්කු බෝම්බ, මෛත්‍රී – මහින්ද කුමන්ත්‍රණ වැනි කඩාකප්පල්කාරී බාහිර සිදුවීම් නොවුනා නම් ජා.මූ. අරමුදල සමග අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවට ආර්ථික අර්බුදය වළකා ගන්න තිබුණා. එයා කියන විදියට වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවට “System” එකේ අවුලක් තිබිලා නැහැ. පැතුම් ක(ර්)න කියන විදියට “System” අවුල කියන්නේ, ගෝඨාභය ජනාධිපති වුන එකයි.

ජනාධිපති ගෝඨාභය ගියාට පස්සෙත් “System” අවුල ඉතිරි වෙලා. දැන් ඒක විසඳන්න පාර්ලිමේන්තුවම අලුත් කරන්න කතා කරනවා. නමුත් පාර්ලිමේන්තුවට උගත් තරුණ අය තෝරා යැවුවට හරියන්නෙත් නැහැ කියලා පැතුම් ක(ර්)න දැන් කියනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට යැවිය යුතු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ ජනාධිපති ගැන පැතුම් ක(ර්)න ඊයේ පෙරේදා ඔහුගේ ට්විට ගිණුමේ තැබූ නියම “බුබලිනා” සටහනකින් කියනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අවම තරමින් ප්‍රධාන කොම්පැණියක සාමාන්‍යාධිකාරි මට්ටමේ කෙනෙකු විය යුතු අතර, ඇමතිවරයෙකු ප්‍රධාන විධායක නිලධාරී මට්ටමේ අයෙකු විය යුතුයි කියලා. ජනාධිපති සාර්ථක “දේශපාලන ව්‍යවසායකයෙකු” විය යුතුයි ලු.

ලංකාවේ අර්බුද සඳහා විසඳුම් හදන්න අවුරුදු දෙකක් පූර්ණකාලීනව එංගලන්තයේ ඉගෙන ගත්තා යැයි කියන පැතුම් ක(ර්)න කියන විදියට මලික්ලා, රවීලා, දයාලා, ධම්මිකලා, ජොන්ස්ටන්ලා, හරීන්ලා, ගනේෂන්ලා, දිගම්බරම්ලා, ගොඩහේවලා, වෙල්ගමලා (ඉඩම්හිමි ව්‍යාපාරික), කබීර්ලා (ව්‍යාපාරික උපදේශක), කෙහෙලියලා (සංචාරක ව්‍යාපාරික), ලොහාන්ලා (කලමනාකරණ අධ්‍යක්ෂ), මයන්තලා (සමාගම් අධ්‍යක්ෂ) ඇතුලු මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ වගේ 225 කින් තමයි අලුත් පාර්ලිමේන්තුව පුරවන්න ඕනේ. ඒ අය අතුරෙන් මලික්ලා, රවීලා, දයාලා, ධම්මිකලා වගේ ලොකු කොම්පැනිකාරයින්ගෙන් තමයි ඇමති මණ්ඩලය හදන්නත් ඕනේ.

නමුත් දේශපාලන ව්‍යවසායකයෙකු කියන්නේ මොනවා කරන කෙනෙකුටද? ඒ ප්‍රශ්නය සාමාන්‍ය ඡන්දදායකයෙකුගෙන් ඇහුවොත් ඡන්දදායකයා අනෙක් පැත්තට අහයි “ඔය කියන්නේ දේශපාලන හයියෙන් බිස්නස් කරන එකද?” කියලා. එහෙමනං ඉතිං “රාජපක්ෂලා තමයි ඉතාම සාර්ථක” කියලත් කියයි.

මෙහෙම “බුබලිනා*” වර්ගයේ දේශපාලන කතා කියන “දේශපාලකයෙක්, වෛද්‍යවරයෙක්, කතුවරයෙක් සහ පරිසරවේදියෙක්” යැයි කියා ගන්නා පැතුම් ක(ර්)න දැන් කියනවා අරගලයේ ඊළග පියවර ආරම්භ කිරීමේ අවස්ථාව ඇවිල්ලයි තියෙන්නේ කියලා. පාරට බැසිය යුතුයි, පාර්ලිමේන්තුව වැටලිය යුතුයි නොකියා ක(ර්)න කියනවා තමන්ගේ ගමේ, ග්‍රාම සේවා වසමේ අසල්වැසි කිහිප දෙනකු වශයෙන් ලංකාවේ හැම ගමකම ජනතාව එකතු උනොත් ඒක පුංචි දිය කඩිති දිය පාරවල්, ඇලවල්, දොලවල් එකතු වෙන මහා ජන ගංගාවක් වෙනවා කියලා. එහෙම ජන බලයකට මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න පුළුවන් කියලා.

ඒ අලුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කර ගන්න මැතිවරණයට තරග කරන්නට පැතුම් ක(ර්)නට තියෙන සුදුසුකම මොකද්ද? එයා කියන විදියට මන්ත්‍රීවරයෙකු වෙන්න “අවම තරමින් ප්‍රධාන කොම්පැණියක සාමාන්‍යාධිකාරි මට්ටමේ කෙනෙකු විය යුතුයි”. පැතුම් ක(ර්)න මොන කොම්පැනියෙද සාමාන්‍යාධිකාරි මට්ටමේ තනතුරක වැඩ කරලා තියෙන්නේ? එයා ගැන එහෙම කතාවක් නැති නිසා එයාම කියන විදියට එයා අපේ රටට අනවශ්‍ය, අපේ රටට “නුසුදුසු” දේශපාලකයෙක්.

පැතුම් ක(ර්)න අපේ රටේ දේශපාලනයට වැද්ද නොගත යුතු අනවශ්‍ය චරිතයක් වෙන්නේ එයාගේ “බුබලිනා” කතා වලට අමතරව, එයා වර්ගවාදි මානසික රෝගියෙකුද වන නිසයි. 2019 මැයි මාසයේ එයාගේ ට්විට ගිණුමෙහි එයා වෛද්‍ය ශාෆිට එරෙහිව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් තැබූ අන්ත මුස්ලිම් විරෝධි සටහන් වලින් වඩාත්ම කුරිරු සටහන තැබුණේ ඉංග්‍රීසියෙන්. එහි සාමාන්‍ය සිංහල පරිවර්තනය මෙහෙමයි. “මෙය සියලු කුරිරු ක්‍රියාවන්ගෙන් උපරිම කුරුරි ක්‍රියාවයි. එවගේම එය අපේ දේශයේ සැබෑ ජන සංහාරයක්. ඒ අවදානම ගැන මුලු ලෝකයේම අවධානය වහා යොමු කළ යුතුයි. ලෝකයේ කොහේවත් සෞඛ්‍ය සේවා ආයතනවල මුස්ලිම් වෛද්‍යවරුන්ට තැනක් නොතිබිය යුතුයි. මේ ගැන ඇසීමෙන්ම මම වෛද්‍ය වෘත්තිකයෙකු හැටියට තිගැස්සී සිටියා”

මෙය කියවූ විට මේ පැතුම් ක(ර්)න බුබලිනා කතා කියනවා පමණක් නෙවෙයි ඇත්තටම බුබලිනෙක් කියලා මට හිතුනා. ඒ නිසා මීට සතියකට හමාරකට කලින් අපි කිහිප දෙනෙක් මේ උන්මත්තක වර්ගවාදී කතා සම්බන්ධයෙන් මේ යෝධ වර්ගවාදියාව සමාජ මාධ්‍ය ජාලවල නිරුවත් කෙරුවා. ඊට දෙදිනකට හරි තෙදිනකට පස්සේ එයා ඒ ගැන දිග හෑල්ලක් දොඩවා සියල්ලන්ගෙන් සමාව ගන්නවා යැයි විඩියෝ පටයක් නිකුත්කර තියෙනවා. ඒකෙන් එයා කරන්නේ එදා ඒ සන්දර්භය තුල දේශප්‍රේමී හැමෝටම ඇති වූ කම්පනය සමග එයාටද එහෙම ආවේගයක් ඇති වුනා කියලා එයාගේ මුස්ලිම් විරෝධය සාධාරණයකර ගන්න උත්සාහ කිරීමක් විතරයි.

පැතුම් ක(ර්)න වෛද්‍යවරයෙකු නම් එයා දැන සිටිය යුතුයි ශල්‍යාගාරයක සෙසු වෘත්තිකයින් සිටියදී වෛද්‍ය ශාෆිට විතරක් නෙවෙයි කාටවත් අනෙක් සියලු දෙනාට හොරෙන් කාන්තාවන්ගේ ෆැලොපියන් නාලිකා මිරිකන්න බැරි වග. ඒ වගේම මේ මෝඩ වෛද්‍යවරයා දැන සිටිය යුතුයි අන්ත ජාතිවාදි පත්තරවල අතේ රෝල් කෙරෙන උද්වේගකර ප්‍රවෘත්ති වෙනුවෙන් ලෝකෙටම ඇහෙන්න උම්බෑ නොකිය යුතුයි කියලා.

ඒ සියල්ලටම වඩා මට එයා තරුණ දේශපාලනයේ ඉන්න බාල වර්ගයේ අන්දරේ කෙනෙකු වෙන්නේ එයාට සමාව ගැනීමට අවුරුදු 03 කුත් මාස 06 ක් ගත වීමම නෙවෙයි. එතරම් කාලයක් ගතවෙලා එයා සමාව ගන්නේ එයාගේ ජාතිවාදී රෙදි ගැලෙව්ව නිසයි. නමුත් එයා බාලම වර්ගයේ අන්දරේ කෙනෙකු වෙන්නේ අනෙක් අය මෝඩයින් කියලා හිතාගෙන අත හරින එයාගේ ගඳ ගහන බොරුව නිසයි. එයා කියනවා ඒ ට්විට සටහනෙන් පස්සේ ඒක වැරදිය කියලා තේරුම් ගත්ත නිසා එයා කොවිඩ්-19 කාලයේ මුස්ලිම් මෘත දේහ භූමදාන තහනමට විරුද්ධව පෙනී සිටියා කියලා. නමුත් එයාගේ ට්විට ගිණුමෙහි එවැනි කිසිම සටහනක් තබා නැහැ. මුස්ලිම් මෘත දේහ භූමදාන තහනම බරපතල ලෙස සමාජයේ කතා බහ වුන කාලයේ එයාගේ විරෝධය සටහන්වන කිසිම ප්‍රකාශයක් සොයා ගන්නටත් නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලිව ඒ කියන්නේ අමුලික කෙබරයක්.

අවසන් වශයෙන් මේ පැතුම් ක(ර්)න ගැන කියන්න තියෙන්නේ එයා ගැලපෙන්නේ අනාගත පාර්ලිමේන්තුවකට නෙවෙයි. එයා ඉතාම කදිමට ගැලපෙන්නේ වීරවංශලා, ගම්මන්පිළලා වගේ මේ වත්මන් පාර්ලිමේන්තුවට කියලයි.

“බුබලිනා*” (Bubalina) යන්නෙහි අර්ථය අන්තර්ජාලයේ ඇත

“මොන්ට් පෙලරින් සමාජය” (Mont Pelerin Society) විස්තර සඳහා මෙතනින් ගොඩවන්න –

– කුසල් පෙරේරා

Continue Reading

තවත් බොහෝ දේ

ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

Published

on

By

ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (ජූනි 30) යෙදී තිබේ.

තාක්ෂණික විප්ලවත් සමඟ නූතන ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස  සමාජ මාධ්‍යය (Social Media) ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ.

ලෝකයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සහ ලෝකයම එක් ස්ථානයකට එක් කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී තිබීම විශේෂත්වයකි.

නව මාධ්‍ය ප්‍රවනතා ඔස්සේ මේ වනවිට සමාජ මාධ්‍ය සමාජ කණ්ඩායම්වල මූලික අංගයක් බවට පත්වී තිබෙන අතර, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය යන මුඛ්‍ය සන්නිවේදන අවශ්‍යතා අතික්‍රමණය කරමින් මේ වනවිට සමාජ  මාධ්‍ය ප්‍රබල ජනමතයක් නිර්මාණයට ද දායකත්වය සැපයීමට අද සමත්ව ඇත.

මේ වනවිට ලෝකයේ මහාද්වීප යා කරමින් අතිවිශාල සමාජ මාධ්‍ය ජාල රාශියක් ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍ය ආරම්භය

ලෝකයේ පළමු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නිර්මාණය වන්නේ 1997 වර්ෂයේදීය. Andrew Weinreich (ඇන්ඩෲ වෙයින්රිච්) විසින් නිර්මාණය කරන ලද එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය නමින් Six Degrees නම් විය. 2003 වර්ෂය වනතෙක්ම ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර Six Degrees සමාජ මාධ්‍ය වේදිකාව බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි.

ඒ අතර කාලයේදී Tom Anderson (ටොම් ඇන්ඩර්සන්) විසින් MySpace නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලදී පරිශීලකයන්ට තමන්ගේ Profile (පැතිකඩක්) නිර්මාණය කර ගැනීමේ හැකියාවද තමාගේ ප්‍රියතම සංගීතය ඇසීමටද හැකියාව ලැබිණි. මින් පසුව MySpace ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය බවට පත් විය.

සමාජ මාධ්‍ය වල විකාශනය

2004 වර්ෂයේ Mark Zuckerberg (මාර්ක් සකර්බර්ග්) හාවඩ් විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යන කටයුතු කරමින් සිටියදී Facebook සමාජ මාධ්‍ය වේදිකාව නිර්මාණය කිරීමට කටයුතු කළේය. 2006 වර්ෂය වන විට Facebook සමාජ මාධ්‍ය වටා විශාල පරිශීලකයන් ප්‍රමාණයක් එක්රැස් විය. Facebook සමාජ මධ්‍ය වේදිකාව උසස් තත්වයෙන් පවත්වා ගැනීමට ඔවුන් බොහෝ දේ සිදු කළහ. Twitter සමාජ මාධ්‍ය ජාලයේ ආකාරයට HashTag එක් කිරීම, SnapChat සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් වන ලෙස Facebook Stories විශේෂාංගය එක් කිරීම ඉන් කිහිපයකි. මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා අතර ප්‍රමුඛයා ද වී සිටින්නේ Facebook ආයතනයයි. එහි මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියන 3.065 කි.

2010 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව කරලියට පැමිණීමත් සමග Facebook දැන සිටියේ තමාට දැඩි තරඟකරුවෙකු සිටින බවයි. Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook සමාජ මාධ්‍ය වේදීකාවට වඩා උසස් දෘෂ්‍ය ස්ථානයක් ලබාදීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වීම සිදුවිය.

2011 වර්ෂයේදී Instagram සමාජ මාධ්‍ය වේදිකාව Facebook ආයතනය විසින් මිලදී ගැනීමත් සමග සමාජ මාධ්‍ය ලෝකයේ සිය ස්ථානය තවත් ස්ථිර ලෙස තහවුරු කර ගැනීමට Facebook සමාගමට හැකියාව ලැබිණි.

සමාජ මාධ්‍යයන්හි අරමුණු

සමාජ මාධ්‍යන්හි අරමුණ ඔබ දැන සිටියාද? සමාජයේ මිනිසුන් විවිධ අරමුණු සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරති.

සමාජ මාධ්‍යන්හි ප්‍රධාන අරමුණු හතරකි. එහි කෙටි යෙදුම SLIM යනුවෙන් දැක්විය හැකිය.

S – Share

සමාජ මාධ්‍ය භාවිතා කරන සියළු දෙනා විවිධ ආකාරයෙන් තම අදහස්, තොරතුරු අන් අය සමග බෙදා ගනී. එසේත් නොමැතිනම් Share කිරීමට කටයුතු කරයි.

තොරතුරු බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන තොරතුරු නිවැරදිද යන වග ඔබ සනාථ කර ගත යුතුය. දෙවනුව තොරතුරේ හෝ අදහසේ හරය පිළිබදව සිතා බැලිය යුතුයි. අවසාන වශයෙන් ඔබ එය පරිශීලකයන් හෝ ප්‍රේක්ෂකයන් අතරට යවන සන්නිවේදන ආකාරය පිළිබදව තීරණය කළ යුතුය.

L – Learn

සමාජ මාධ්‍ය තුළින් පරිශීලකයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් ඉගෙනීමක් සිදුවේ. සාම්ප්‍රදායික මාධ්‍යන්ට වඩා ඉක්මණින් සහ පහසුවෙන් විද්‍යුත් මාධ්‍ය හරහා මූලාශ්‍ර පිළිබදව අධ්‍යනය කළ හැකිය.

YouTube සමාජ මාධ්‍ය තුළ නොකඩවා වසර 7ක් පුරාවටම පරිශීලකයන් විසින් වැඩිපුරම භාවිතා කරන ලද සෙවුම් විමසුම (Search Query) ලෙස “How to” යන්න එම ආයතනයේ දත්ත වලට අනුව පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නෙ බොහෝ පරිශීලකයින් සමාජ මාධ්‍ය හරහා යම් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ හරහා ඉගෙන ගැනීමේ හැකියාව පවතින බවත්ය.

I – Interacting

සමාජ මාධ්‍යන්හි ප්‍රාධානතම අංගය ලෙස අන්තර් ක්‍රියාකාරීත්වය හැදින්විය හැක. සමාජ මාධ්‍ය පුද්ගලයින් අතර කාලය සහ දුරස්ථභාවය වැනි සාම්ප්‍රදායික බාධක බිද දමයි.

Messenger, WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා මිනිසුන්ට වර්තමානයේ අප සිටින බාධක හමුවේ වුවද අන්තර් සබදතා මැනවින් පවත්වා ගැනීමේ හැකියාව ලැබේ.

එපමණක් නොව Twitter වැනි උසස්ගණයේ සමාජ මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සබදතා, නිළ නිවේදන වැනි රාජකාරීමය ක්‍රියාකාරකම් වලටද ඉවහල් වන අවස්ථා බොහෝමයක් ඇත.

M – Marketing

සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනා අලෙවි ප්‍රවර්ධනය සදහා නැඹුරු වේ. තම ව්‍යාපරයේ සහ තම සන්නාමය ලොව පුරා මිනිසුන් අතරට ගෙන ඒමට සමාජ මාධ්‍ය බෙහෙවින් ඉවහල් වේ.

සමාජ මාධ්‍ය තුළ සහ සමාජයේ ක්‍රියාකාරි පුද්ගලයන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පොදු රූපය සමාජ මාධ්‍ය තුළින් නිර්මාණය කර ගැනීමට කටයුතු කරයි.

කුමන හෝ දෙයක් අඩු කාලයකදී අඩු වෙහෙසකින් ප්‍රවර්ධනය කර ගැනීමට සුදුසුම වේදිකාව සමාජ මාධ්‍ය ලෙස හැදින්විය හැක.

සමාජ මාධ්‍යයන්හි භාවිතය

ඉහත සදහන් කරන ලද අරමුණු සමාජ මාධ්‍ය භාවිතය සදහා බෙහෙවින් ඉවහල් වේ.

නමුත් අද වන විට සමාජ මාධ්‍ය වෙත විවිධාකාරයේ දෝශාරෝපණ එල්ල වන්නේ සිදු වී තිබෙන සියළු වැරදි සමාජ මාධ්‍ය වෙත එල්ල කරමිනි. නමුත් මෙම ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය සහ භාවිතා කරන්නාගේ මානසික මට්ටමයි.

අසත්‍ය පුවත් බොහෝමයක් මේ දින වලදී සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ව්‍යාප්ත වන අයුරු අපට දැක ගත හැකිය. නමුත් අසත්‍ය පුවත් සමාජ ගත කිරීමෙන් එය සිදු කරනු ලබන පුද්ගලයා ලබනු ලබන ආශ්වාදය ඔහුගේ මානසික ව්‍යාකූලතාවය සමාජය ඉදිරියේ විදහා දක්වයි. එසේම නිකරුණේ නිශ්ඵල ක්‍රියා සදහාද සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය ජීවිතයේ වටිනා කාලය සමාජ මාධ්‍ය හරහා විනාශ කර ගැනීමට කටයුතු කරයි.

එබැවින් වගවීමකින් හා වගකීමකින් සමාජ මාධ්‍ය භාවිතා කිරීම පරිශීලක සැමගේ යුතුකමකි.

Continue Reading

විශේෂාංග

පළාත් පාලනයේ අකීකරු සභිකයාගේ ඉරණම

Published

on

By

කිසිදු පක්ෂයට බහුතරය නොතිබූ, පළාත් පාලන ආයතන 10 ක ගැටුම් හො අධිකරණ තීන්දු නිසා පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමට හැකිවී නැත. දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියගේ මැදිහත්වීමෙන් පළාත් පාලනය ආයතනයන්ට සභපති/නගරාධිපති තෝරාපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, දඟ කරන කෑගහන පලාත් පාලන සභිකයාගේ ඉරණම කුමක් විය හැකි ද? යන්න විමසා බැලිය යුතුය.

මේ දිනවල දවසේ වෙඩිල්ල තරමටම ජනප්‍රිය මාතෘකාව, දවසේ අංගය මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පළාත් පාලන කොමසාරිස් මුලසුන දරන පළමු රැස්වීමේ දී තෝරා ගැනීමයි. එයට විධිවිධාන සැලසෙන්නේ (262 වන අධිකාරය) පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කළ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 66 ඇ හා 66 ඈ වගන්ති වලිනි.

බස්නාහිර පලාත් පාලන කොමසාරිස්වරිය නිසා ‘ලස්සන තියරිය’ ලෙස හැදින්වෙන් ⁠මෙම ඡන්ද විමසීම සම්බන්ධයෙන් 66 ඈ (6) වගන්තියේ එන “යෝජනා සම්මතය” පිළිබඳ අර්ථ නිරූපනය විවාදාපන්න වී ඇත.  

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට තමන්ට නැති අධිකාරියකින්, කිසිදු නෛතික වැදගැම්මකට නැතිව නිකුත් කර ඇති  “උපදේශන මාලාවක්” කරේ තබාගෙන විපක්ෂය සීතාවක ඇතුළු තැන්වන පිටව ගියේය. බණ්ඩාරගම ඇතුළු තැන්වල කලහ කළහ.

⁠දිගින් දිගටම යම් සභාවක එම තත්වය ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න පලාත් පාලන විධිවිධාන හ අනුශාංගික පනත් ඇසුරෙන් විමසා බලමු.

මුලින්ම, මෙවැනි තත්වයක් පිළිබඳ කටයුතු කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ විධිවිධාන නැත.

එවිට පළාත් පාලනයේ මූලික පනත් එනම් ( 252 වන අධිකාරය) මහා නගර සභා ආඥා පනත, (255 වන අධිකාරය) නගර සභා ආඥා පනත හා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත දෙසට හැරෙන්නට සිදුවේ.

මහා නගර සභා ආඥා පනතේ 277 ( ඉ) වගන්තිය අනුව ” රැස්වීම් පැවැත්වීම, රැස්වීම්වලට පැමිණ සිටීම හෝ පවත්වන ලද රැස්වීමකදී ඡන්දය පාවිච්චි කිරීම හෝ රැස්වීමේ කටයුතු කිරීම මහා නගර සභාවක යම් සභිකයෙකු විසින් නිරතුරුවම ප්‍රතික්ෂේප කර තිබීම ” පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අමාත්‍යවරයා සෑහීමකට පත් වුවහොත් ඒ එක් එක් අවස්ථාවට අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් සභාවේ සියලුම සභිකයන් හෝ ඔවුනතුරින් යම් සභිකයෙකු හෝ ධූරයෙන් පහ කළ හැකිය. නැතහොත් මහා නගර සභාව විසුරුවා හැරිය හැකිය. (අවධාරණය – මෙහි අමාත්‍යවරයා යන පළාතේ පලාත් පාලන අමාත්‍යවරයා ය.)

නගර සභා ආඥා පනතේ 184 (1)(අ) හි මෙයම සඳහන්‍ ය. එයට අමතරව 184(1)(ඇ) වගන්තියේ ” කොමසාරිස් වරයාගේ නියමයන්ට, උපදෙස්වලට හෝ නිර්දේශයන්ට නගර සභාවක සභිකයෙකු නිරතුරුවම අකීකරු වීම, ඒ නියමයන් උපදෙස් හෝ නිර්දේශ නොතකා හැරීම ” හේතුවෙන්ද සභිකයෙකු ධූරයෙන් පහ කිරිමට අමාත්‍යවරයාට හැකිය.  (ඔව් සරළවම නිසි ආයතනික ක්‍රමවේදයකින් පසුව සභික ධූරයෙන් ඉවත් කළ හැකියි!)

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185 (ඈ) වගන්තියෙන්ද කොමසාරිස්වරයාට අකීකරු වන සභිකයාට අත්විය හැකි ඉරණම පෙන්වාදේ.
මේ පනත් තුනෙහි එන අමාත්‍යවරයා 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන ) පනතේ 2 වගන්තිය යටතේ පවරා ඇති බලතල ප්‍රකාර අවස්ථාවෝචිත පරිදි පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා හෝ පළාතේ ආණ්ඩුකාරවරයා වේ.

මේ බලතල පාවිච්චි කළ යුතුය කියා හෝ මෙවැනි තත්වයක් දක්වා පලාත් පාලන ආයතන පිහිටුවීමේ ගැටළුව දිග්ගැස්වවිය යුතු නැත. මේ සටහනින් උත්සාහ කලේ අකීකරු සභිකයින් සම්බන්ධයෙන්  මේ විෂය පථය තුළ ආණ්ඩුකාරවරයන්ගේ හා පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ බලය කොතරම්ද යන්න ‘පොතේ හැටියට විත්තර කිරීම’ පමණී.

මෙම පියවර මගින් ද, පලාත් පාලන ආයතනයක සභාපති/නගරාධිපති ඇතුළු තනතුරු සඳහා පත් කිරීම සිදු කිරීමටත්, විධිමත්ව පවත්වාගෙන යාමටත් නොහැකි වන්නේ නම්, බාධා සිදුකරන්නේ නම් පලාත් පාලන ආයතනය කොමසාරිස් පාලනයට යටත් කළ හැකිය.  

මාගේ පුද්ගලික අදහස නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතු බව ය.  සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවය.

 ✒️ රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

නිලධාරීන් 86කට බෙල්ලට තොණ්ඩු වැටුන රාජ්‍ය ව්‍යවසාය

Published

on

By

කාලෙකට ඉස්සර, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට ‘වටු කුරැළු පැටවුන්’ ලබාදීමේ වැඩසටහනක් දකුණේ ක්‍රියාත්මක කරලා තිබුණා.  හැබැයි, හම්බන්තොට ට බෙදපු කිසිම වටු කුරුල්ලෙක් බිත්තර දාලා  නෑ ලූ.  ව්‍යාපෘතිය අසාර්ථකයි.

දැන් මේ ගැන දිස්ත්‍රික්කයේම රාජ්‍ය නිලධාරීන් (2015 විතර) ඉන්න රැස්වීමක දී කේක් කමින් කතා කරනවා. මේ රැස්වීමට පිට පලාතකින් ගිහින් හිටපු නිලධාරියෙක් අර වටු කරුළු කතාව කිව්ව පශු සම්පත් නිලධාරියාගෙන් අහනවා ‘මට වටු කුරුළු පැටව් දෙන්නෙක් දෙන්න බැරිද? ගෙදර හුරතලයට හදන්න’ කියලා.

හම්බන්තොටින් පැටව් දෙන්නා, දෙනියායට ගෙනල්ලා දවස් දෙකෙන් වටු කුරුල්ලෝ බිත්තර දාන්න පටන් ගන්නවා.

අර නිලධාරියා, මේ පණිවුඩය හම්බන්තොටට පශු නිලධාරීන්ට දීලා කියනවා ‘සමහරවිට බිත්තර දාන්නේ නැත්තේ දේශගුණය නිසා වෙන්න ඇති, තෙත් කලාපයට ගෙනල්ලා බලමු ද?’ කියලා.

පණිවුඩේ ලැබිලා වටු පැටව් එකතු කරන්න හොයනකොට, බිත්තර දාන්නේ නැති නිසා වැඩි හරියක් වටුවෝ මරාගෙන කාලා.  හැබැයි ඉතිරි ටික හිනිදුම, දෙනියාය පැත්තට ගෙනිච්ච පැටව් දැන් හොඳට බිත්තර දානවා!  

මේ කතාව මට කිව්වේ දකුණු පළාතේ හිටපු කාලේ, එහි සේවය කළ පශු වෛද්‍යවරයෙක්. අතීත කතාවක්.  

මේ දවස්වල විදේශයන්ගෙන් ගෙනාපු කිරිඑළදෙන්නු ගැන ප්‍රශ්නයක් යනවා නේ. ජනාධිපතිවරු 3, අමාත්‍යවරු  8 (හැරිසන්, විජිතමුණි, රංජිත් මද්දුම බණ්ඩාර, මහින්ද යාපා, චමල් රාජපක්ෂ, මහින්දානන්ද, අමරවීර) ක්, අමාත්‍යාංශ ලේකම්වරු 15 (රේණුකා, ජයන්ත විජේරත්න, මායාදුන්න, රුවන්චන්ද්‍ර, රත්නායක, නීල් හපුහීන්න, සුමේධ පෙරේරා, රෝහණ පුෂ්පකුමාර, මහාචාර්ය උජිත් ජයසිංහ, ගුණදාස සමරසිංහ, ජනක ධර්මකීර්ති, නිශාන්ත වික්‍රමසිංහ, ඩී.පී. වික්‍රමාරච්චි)  ක්, අතිරේක ලේකම්වරු 10 (පතිරත්න, නිහාල් වෙදසිංහ, ගීතා රාජපක්ෂ, බණ්ඩාරලතා, සී.එන්. ගමගේ, සමරනායක, නිහාල් ජයවීර, අමරසිංහ, පී.එස්. ප්‍රනාන්දු)  ක්, ‘පැමිණිල්ලේ විත්තිකරුවන්’ බවට පත්වෙලා.  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශව ඒකකය (FCID) විසින් මේ ගැන විමර්ශන දෙකක් (හෝ එයට වැඩි ගණනක්) පවත්වනවා.

ලංකා රජය විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ඔස්ට්‍රෙිලියාවේ තිබේ. පුද්ගලික අංශය විසින් අත්තිකාරම් මුදලක් ගෙවා, එහි සැපයුම (හරක්) රටට නොලුබුණු විට සිදු කරන්නේ බේරුම්කරණ ක්‍රියාවලියකින් එම ප්‍රශ්නය විසදාගැනීමයි.   නමුත්, අද දක්වාම බේරුම්කරණ ක්‍රියාවලියක් සිදු නොකර රාජ්‍ය නිලධාරීන් 86 ක් ගැන විමර්ශණයක් සිදු වෙනවා.  ලංකා රජය හා ඕස්ට්‍රෙිලියන් රජය අතර සිදුවූ මුදල් හුවමාරුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් නැවත රටට ලබාගත හැකියි. නිලධාරීන් එය සිදු නොකර, හිටපු දේශපාලනඥයින්, නිලධාරීන් මඩවනවා.

ඔය හයිබ්‍රිඩ් වැස්සියෝ පුද්ගලික අංශයේ ගොවිපලවල නියමිත ප්‍රමාණයට කිරි දෙනවා.  අබේවෙල විතරක් නෙවෙයි, හොඳට ප්‍රමිතියක් සහිතව කන්න බොන්න දෙන තැන්වල කැප්පෙටිපොල, හපුතලේ හොඳට කිරි දෙනවා. ලාභ ලබනවා. රාජ්‍ය අංශයේ දී පාඩු ලබනවා.  

ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැරි ඇයි කියලා ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනවා.

ආණ්ඩුවේ ආයතන කරන සත්ව නිෂ්පාදන ව්‍යාපාර වලින් මිරිදිය මත්ස්‍ය පැටවුන් අභිජනනය ඉතාමත් සාර්ථක වුණා. එයින්, මිනිස්සුන්ගේ ආදායම විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ‍ පෝෂණ අවශ්‍යතාවයත් පිරිමැහුණා. ආණ්ඩුවේ අලුත් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ප්‍රවේශය නිසා පලාත් කිහිපයකම ‘මිරිදිය මත්ස්‍ය’ ව්‍යාපෘති පවත්වාගෙන යන්න බැරි තැනකට පත්වෙමින් තියෙනවා.

රජයට පාඩුවක් වෙන්නෙත් නැතුව, විගණකාධිපති ගේ නිර්ණායක අනුව කටයුතු කරමින්, කෝප් කමිටුවේ ආධුනික ප්‍රශ්න කිරීම්වලිනුත් බේරිලා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන රේඛීය අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්ණායක අනුව, අමාත්‍යවරයාගේ ඡන්ද කොට්ඨාශයේ උදවියටත් සෙතක් වෙන විදිහට බැරිනම් මාධ්‍ය ප්‍රචාරයක් හෝ ලැබෙන ආකාරයට, පුද්ගලික අංශයේ තරගකාරී ආයතන සමඟ අසමාන තරඟ බිමක බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි.  එහෙම වැඩ කරන්න පුළුවන් පිරිසකට දැන් රාජ්‍ය සේවයේ හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා!

රාජ්‍ය සේවයේ ව්‍යාපාරවල වගකීම් දරන නිලධාරීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, ‘ලොකුම හොරකම කරපු, වැටුප් දීමනා ලබන අය’ පැමිණිලිකරු වෙලා කිසිම ප්‍රතිලාභයක් නොලැබුණු රාජ්‍ය නිලධාරීන් රොත්තකටම නින්දා, අපහාස, උපහාස විදිමින් අතින් මුදල් වියදම් කරගෙන‍ පොලිසි උසාවි ගානේ ලගින්නට වීම.

විශේෂයෙන් ‘රාජ්‍ය ව්‍යවසාය රැක ගැනීම සිය ප්‍රතිපත්තිය විදිහට සලකන’ ආණ්ඩුවකට අද ‘තාක්ෂණික ඇගයීමක් කර ගැනීමේ, ටෙන්ඩර් එකක් අනුමත කර ගන්න බැරි තත්වයක් මතුවෙලා තියෙන්නේ මේ නිසයි.

‘රාජ්‍යයට ව්‍යාපාර කරන්න බැරි බව’ පෙන්වන හොඳම උදාහරණය වටු කුරුළු කතාව නෙවෙයි.  ‘රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත්වන නිලධාරීන්ට අත්විය හැකි අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණම තමයි, ‘කිරි හරක්’ ඇණුවුම් කිරීම පිළිබඳ සිදුවන විමර්ශනය!

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved