විශේෂාංග

ලෝක වනජීවී දිනය අදයි

Published

on

ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස්ථානුකූලව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට බල කිරීම සඳහා වාර්ෂිකව විවිධ දිනයන් සහ සති ප‍්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

වනජීවී සම්පත තිරසර ලෙස භාවිතයට ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු විය යුතු මෙන්ම ඒ සඳහා ක‍්‍රියාකාරීව දායක විය යුතු වේ. ගහකොළ සතා සීපාවගෙන් ද ඇළ දොළ ගංගාවන්ගෙන් ද පිරිසිදු වාතාශ‍්‍රයෙන්ද සාරවත් පොළවකින්ද තොරව මිනිසාගේ පැවැත්ම ගැන සිතිය නොහැකිය. අපට ජීවත් වීමට ඇවැසි හුස්ම පොද ලබා දෙන්නේද ජලය සහ ආහාර ලබා දෙන්නේද ඉඳුම් හිටුම් සහ බෙහෙත් හේත් ලබා දෙන්නේ ද ස්වාභාවික පරිසරයයි.

එවන් වූ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය වාර්ෂිකව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් දිනයන් ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර මාර්තු 03 දිනට යෙදෙන ලෝක වනජීවී දිනය ද සුවිශේෂි වේ.

මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, ආර්ථිකමය, විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සෞන්දර්යාත්මක වටිනාකම් අගැයීමට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණි.

ලෝකයේ වනජීවි සම්පත දිනපතා ලක්ෂ ගණනින් මිනිසාගේ භාවිතය සඳහා විනාශයට පත් වේ. ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත්, රූපලාවන්‍ය, මෝස්තර, පාරිසරික සංචාරය සහ විනෝදාස්වාදය සඳහා මෙලෙස වනජීවීන් විනාශයට පත් වන අතර ජීවී විශේෂ දස දහස් ගණනින් දෛනිකව ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාමට ද යොදා ගැනේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත් වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කර ඔවුන් වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම එක්සත් ජාතීන් විසින් ලෝක වනජීවි දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය විය.

ලෝකයේ තර්ජනයට ලක් වූ ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) 1973 දි පිහිටුවන ලද ලෝකයේ වනජීවී සංරක්ෂණය පිළිබඳව පවත්නා ප‍්‍රබල සම්මුතියකි. 2013 වසරේ මාර්තු මාසයේදි බැංකොක් නුවර පැවැති එම සම්මුතියෙහි 40 වන වාර්ෂික සැසියේදි ලෝකයේ වන සත්ව සහ ශාක විශේෂ නිතී විරෝධි ලෙස වෙළඳාමෙහි යෙදවීම වැළැක්වීමත් වනජීවි සංහාරය මැඬපැවැත්වීමත් අරමුණු කරගෙන ලෝක වනජීවී දිනය ප‍්‍රකාශයට පත් කිරිම පිළිබඳව යෝජනාව ඉදිරිපත් විය.

එම යෝජනාව මල්ඵල ගන්වමින් 2014 මාර්තු 03 ප‍්‍රථම ලෝක වනජීවී දිනය ලෝක ජනතාව විසින් සමරන ලදි. පාර්ශ්වීය රටවල් 184 කින් සමන්විත CITES සම්මුතියට 1979 දී ශ‍්‍රී ලංකාව ද පාර්ශවීය රටක් ලෙස ගිවිසුම් ගත වූ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි අධිකාරි බලය ලත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනය වේ.

ඒ අනුව 2014 දී මාර්තු 01 දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රථම ලෝක වනජීවී දිනය සමරනු ලැබුවේ මුද්දරයක් හා මුල් දින කවරයක් ද ප‍්‍රකාශයට පත් කරමිනි. වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණු පා සිටින තෙත් කඳුකර කලාපයේ ජීවත්වන ශ‍්‍රී ලංකාවට ආවේණික මැඩියකු වන කඳුකර පඳුරු මැඩියා (Taruga eques) නිරූපිත මුද්දරය වනජීවි දිනය නිමිත්තෙන් ප‍්‍රකාශයට පත් කළ ලෝකයේ මුල්ම මුද්දර කිහිපය අතරට එක් විය. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය, නකල්ස් ලෝක උරුම වනාන්තරය සහ හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතයේදී පමණක් කඳුකර පඳුරු මැඩියා හඳුනා ගැනීමට හැකි වන අතර තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් ලෙස 2012 දී කඳුකර පඳුරු මැඩියා රතු දත්ත පොතට ඇතුළත් කර ඇත.

මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ වනජීවි විශේෂ ලොවින් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන් වනාන්තර මිනිසුන් විසින් අත්පත්කර ගැනීම, ගිනි තැබීම, නීති විරෝධී ගස් කැපීම සහ වනාන්තර වගා කටයුතු වෙනුවෙන් යොදා ගැනීම, දඩයම ආදි විවිධ මානව ක‍්‍රියා හේතුවෙන් මෙලෙස ජීවී විශේෂ රාශියක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි.

ශ‍්‍රී ලංකාව ශාක සහ සත්ව විවිධත්වය අතින් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක සිටියි. ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයේ පිහිටි ජීවී විශේෂ ඝනත්වය (ව.කි.මී.10,000 ජිවත් වන ජීවී විශේෂ සංඛ්‍යාව) වැඩිම රටක් ලෙස පිළිගනු ලැබේ. මෙරට සුපුෂ්පික ශාක, උභය ජීවීන්, උරගයින් මෙන්ම ක්ෂිරපායී සත්ව විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. එසේම මෙහි පවත්නා උස් ශාක සහ පෘෂ්ඨ වාංශිකයින් පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කරන්නේ නම් තොරතුරු රැුසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී. සමනලූන්, බත්කූරන්, ගොළුබෙල්ලන් සහ ඇල්ගි විශේෂද රාශියක් මෙහි පවත්නා අතර කෘමි විශේෂ පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය යුතුව තිබේ. උඩුවියන් ආශ‍්‍රිතව ජීවත් වන සත්ව විශේෂ රාශියකට ද ශ‍්‍රී ලංකාව වාසස්ථාන සපයයි. මෙරට සිදු වන ශීඝ‍්‍ර වන හානිය හේතුවෙන් ඇතැම් ජීවී විශේෂයන් හඳුනාගැනීමටත් පෙර මෙරටින් විනාශ වී ගොස් ඇත.

ලෝකයේ වනසත්ව හා ශාක විශේෂ 8400ක් පමණ උග‍්‍රලෙස වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර තවත් ජීවි විශේෂ 30,000ක් පමණ වඳවී යෑමේ තර්ජනයට වේගයෙන් ළඟා වෙමින් පවතී. මේ අනුව ලෝකයේ මිලියනයක් පමණ ජීවි විශේෂ තර්ජනයට ලක්ව ඇති බව තහවුරු වේ.

මෙවර වනජීවී දින තේමාව “වනජීවී සංරක්ෂණය මිනිසා හා පෘථිවියේ අනාගත ආයෝජනයයි”.

ලෝක වනජීවී දිනය වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන උත්සවය අද (03) විල්පත්තුව ජාතික උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version