පුවත්

අධිකරණයට අපහාස කළැයි මෛත්‍රීට පෙත්සමක්

Published

on

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරන ලදී.

පෙත්සම අද (30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කළේ, මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Trending

Exit mobile version