ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු කියති.
මෙම සතුන් දිනකට කිරි ලීටර් 15- 30 අතර ප්‍රමාණයක් ලබා දෙන එලදෙනුන් වන අතර අඩුම තරමින් මාසයකට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරිදෙනුන් 35-40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වී ඇති බව ද කෘෂි අංශ බලධාරිහු පවසති.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරින්ගේ සාකච්ඡාවක දී බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම සම්බන්ධව පළාත් කෘෂි අංශ බලධාරිහු කරුණු ඉදිරිපත් කළේය.
විශේෂයෙන් සුඛොපබෝගී වෑන් රථවලින් පැමිණෙන පිරිස් රාත්‍රි කාලයේ දී ගවමඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන ගෙන යන බවද මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය.
මේ අන්දමින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් පවතින බව සියලු කෘෂි බලධාරිහු අවධාරණය කළේය.
මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රි කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පති තුමාටත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කිරි ලබා ගන්නා ගව දෙනුන් මේ අන්දමින් දිනපතා සොරකම් කිරීම නිසා ඉදිරියේ දී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇතැයි ද කෘෂි අංශ බලධාරින් ප්‍රකාශ කළේය.
ගවපාලනයේ නිරතව සිටින කිරිගොවීන් මේ වනවිට ගවයින්ගේ ආරක්ෂාව උදෙසා ඇතැම් ගවගාල්වලට විශාල මුදලක් වැය කර සීසී ටීවී කැමරා පවා සවි කර ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.