චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක – ජේක් සලිවන් මහතා, අතර හමුවක් අද (29) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්වුණි.
වෙනස්වන හා කැළඹිලි සහිත මේ ලෝකය තුළ, රටවලට අවශ්‍ය වන්නේ සමගිය හා සහයෝගතාව මිස, බෙදීම හෝ එදිරිවාදිකම් නොවන බව චීන ජනාධිපතිවරයා පැවසීය.
තවද, ජනතාව අපේක්ෂා කරන්නේ විවෘතභාවය සහ සංවර්ධනය මිස, සංවෘතභාවය හෝ පසුබැසීම නොවන බව ද ෂී මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
ප්‍රධාන රටවල් දෙකක් ලෙස, චීනය හා ඇමෙරිකාව, ඉතිහාසය, ජනතාව මෙන්ම ලෝකය කෙරෙහි වගකීම්සහගතව ක්‍රියා කළ යුතු බවත්, ලෝක සාමයේ ස්ථාවර මූලාශ්‍රයක් මෙන්ම පොදු සංවර්ධනයේ ප්රවර්ධක ලෙස කටයුතු කළ බවත් ෂී මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, තමාව හමුවීම පිළිබඳව චීන ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ සලිවන් මහතා, පවසා ඇත්තේ දෙරට ජනාධිපතිවරුන් අතර සැන් ෆ්රැන්සිස්කෝ හි පැවති හමුවෙන් අනතුරුව, එළඹුණු පොදු එකඟතා භාරදූර ලෙස ක්‍රියාවට නංවා, සක්‍රිය ප්‍රගතීන් දිනාගෙන ඇති බවයි.
නව සීතල යුද්ධයක් දියත් කිරීම, චීනයේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීම හෝ සන්ධාන සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් චීන විරෝධී ප්රයත්න හඹා නොයන බවත් සලිවන් මහතා අවධාරණය කර ඇත.
තවද, තායිවාන ප්‍රදේශයේ ස්වාධීනතාවට අනුබල නොදෙන ඇමරිකාවට චීනය සමග ගැටුම් ඇති කරගැනීමේ වුවමනාවක් නොමැති බවත්, තායිවාන ප්රශ්නය මගින් චීනය මර්දනය කිරීමට ඇමරිකාව උත්සාහ නොකරන බවත් සලිවන් මහතා තවදුරටත් සඳහන් කර තිබේ.
චීනය සමග උපායමාර්ගික අදහස් හුවමාරු පවත්වාගෙන යමින් දෙරට සාමකාමී යහපැවැත්ම මෙන්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාව අඛණ්ඩව වර්ධනය කළ හැකි මාර්ගයක් විවර කර ගැනීම ඇමරිකාවේ බලාපොරොත්තුවක් බවත්, නුදුරු දිනකදී චීන ජනාධිපතිවරයා සමග යළි අදහස් හුවමාරු කර ගැනීම ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතාගේ අපේක්ෂාව බවත් සලිවන් මහතා එහිදී සඳහන් කර ඇත.