කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, එහි සංස්කෘතික අංශය වන කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 9 වන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් 2023 ජූනි 17 – 21 අතර දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.
“වාසුධායිව කුටුම්බකම් සඳහා යෝගා” යන තේමාව යටතේ සුවිසල් මහජන වැඩසටහනක් 2023 ජූනි 17 වන දින පෙ.ව. 6.45 සිට කොළඹ, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු විවිධ සහකරුවන් සමඟ සහයෝගීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා මහජනතාවට නොමිලේ සහභාගී විය හැක. මහ කොමසාරිස් කාර්යාලය ජූනි 21 වන දින තවත් යෝගා වැඩසටහනක් කොළඹ වරායේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙසේද පවසා සිටියි :
9 වන ජාත්‍යන්තර යෝගා දිනයේ විශේෂ පියවරක් ලොව පුරා සිටින යෝගා ලෝලීන් ලෙස එකට එක් කරනු ඇත. මෙම වසරේ දී “ගෝලීය සාගර වළල්ලක්” නිර්මාණය කරමින් ලොව පුරා තෝරා ගන්නා ලද වරායන් හිදි යෝගා වැඩසටහන් පැවැත්වෙනු ඇත. සුවතාවය යන පොදු අරමුණ මත ලොව පුරා ජනතාව එකට එක් කරන 2023 ජාත්‍යන්තර යෝගා දිනය ඉන්දියාවේ වර්තමාන G20 සභාපතිත්වයේ තේමාව වන වාසුධායිව කුටුම්බකම් එනම් “එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක්”යන තේමාව හා සමපාත වේ.
කායික සහ මානසික සුවතා අංගයක් ලෙස ශ්‍රී ලාංකිකයන් වෙත යෝගා ව්‍යායාම ප්‍රවර්ධනය කිරීම සඳහා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 2023 ජාත්‍යන්තර යෝගා දිනය දක්වා වන දින 50 තුළ විශේෂ වැඩසටහන් සංවිධානය කරන ලදී. 2023 මැයි 1 වන දින සිට ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් රාජ්‍ය ආයතන, යෝගා මධ්‍යස්ථාන සහ දේශීය සහකරුවන් සමඟ එක්ව යෝගා වැඩසටහන්, වැඩමුළු, දේශන සහ විවිධ වයස් කාණ්ඩ සහ වෘත්තිකයන් සඳහා ඉදිරිපත් කිරීම් පවත්වන ලදී. දේශීය වෛද්‍යවරුන් සඳහා පැවති යෝගා වැඩමුළුව, කොළඹ, නගර සභා පිටියේ පැවති යෝගා සැසිය සහ මේ වන විට දිවයින පුරා පැවැත්වෙන ආරක්ෂක අංශ සඳහා තෙදින වැඩමුළුව යනාදිය මේ අතරින් සුවිශේෂ වේ.
2014 වසරේදී ඉන්දියාවේ මූලිකත්වයෙන් ගෙන එන ලද යෝජනාවක් සම්මත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සෑම වසරකම ජූනි 21 වන දින “ජාත්‍යන්තර යෝගා දිනය” ලෙස නම් කරන ලදී. මෙම යෝජනාව සඳහා රටවල් 170ක් සහය ලබා දුන් අතර ශ්‍රී ලංකාව එහි සම අනුග්‍රාහකයකු විය.
ආයුර්වේදය මෙන්ම යෝගා ව්‍යායාම ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් බෙදාහදා ගන්නා උරුමයේ කොටසකි. ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල 2015 වසරේ සිට ශ්‍රී ලංකා නායකත්වය සහ ජනතාවගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර යෝගා දිනය මහත් උනන්දුවකින් සමරයි. පසුගිය වසරවලදී පැවැත්වූ වැඩසටහන් සඳහා සහභාගී වූ පිරිස දහස් ගණනකි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 සහ 2021 වසරවලදී අතථ්‍ය අයුරින් ද 2022 වසරේදී නිදහස් චතුරස්‍රයේ දී හයිබ්‍රිඩ් අයුරින් පැවති වැඩසටහන් සඳහා ද ජනතාව මහත් උනන්දුවකින් සහභාගී වූහ.