Connect with us

පුවත්

ජාතික ජන බලවේගයේ පාස්කු ප්‍රතිඥාව

Published

on

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිඳු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාවක් නිකුත් කර ඇත.

එය පහතින් දැක්වේ.

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය හැත්තෑතුන්දෙනෙකු (273) හට ජිවිත අහිමි වූ අතර, පන්සියයකට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ අබාධිතයන් බවට පත් වූහ. එසේ අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන් ට සහ එකී ප්‍රහාරය මගින් විනාශයට පත්වූ දේපල වෙනුවෙන් රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම මේ වන තෙක් නිසියාකාරව ඉෂ්ඨ කර ඇත්තේද යන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති බවත් ජාතික ජන බලවේගය වශයෙන් පහත කරුණු ජනතාවගේ අවධානයට යොමු කරනු ලබන අතර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කර සිටිමු. 

1.     පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කොට ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් වන අතර එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම් කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන්නේය,

2.    පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙරාතුව ඒ පිළිබඳව නිසි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ සහ එම ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශන වෙනතකට හරවා, එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින්, එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශවයන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැලැක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන්ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිවයුතු සෑම දේශපාලන බලධාරීයෙක්ම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම,

3.    i. පාස්කු වින්දිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද,

ii. දැනටමත් ජනාධිපති විසින් පත්කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවල ඇතුළත් දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද තරාතිරම නොබලා අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරන අතර,

iii. අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්ච ප්‍රහාරයට අදාළව පත්කරනු ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශද පදනම් කරගනිමින් ඊට වගකිවයුතු දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනු ලැබේ,

4.    මෙම ප්‍රහාරයට අදාළව දැනට විභාග වෙමින් පවතින නඩු, ප්‍රමුඛතා පදනමක් (Priority Basis) මත හැකි ඉක්මණින් අසා නිමකිරීමට අදාළ අංශවලට ඉල්ලීම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,

5.    මෙම ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට මෙරටින් පැන ගොස් සිටින සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඔවුන් මාර්ගයෙන් විමර්ශනය කිරීම සහ එසේ අනාවරණය වන සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම.

6.    මෙම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ජීවිත සහ දේපළවලට නිසි ආකාරයේ වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීම, ඔවුන් පත්ව ඇති මානසික ව්‍යාකුලභාවයන්ගෙන් ඔවුන් මුදවා ගත හැකි ආකාරයේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවලක් හඳුන්වා දීම,

7.    මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කොමිෂන් සභා සහ වෙනත් විමර්ශන මගින් හෙළිකරගත් තොරතුරු පදනම් කරගනිමින් තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු රාශියක් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කර සත්‍ය විමර්ශනය කරගැනීමට සහ පීඩාවට පත් පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අරමුණු කරගනිමින් පූර්ණ අධිකරණ බලැති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කොට එහි නිර්දේශයන් මත ඉතා කෙටි කලක් තුළ, මෙම ප්‍රහාරයන් දියත් කිරීමට කුමන්ත්‍රණය කළ අයවලුන්ට සහ විවිධ අයුරින් ඊට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ මත දඬුවම් පැමිණවීමත්, කිසිදු පැකිලීමකින් තොරව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලබන බවත් ශ්‍රී ලාංකේය ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමු.

පුවත්

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

Published

on

By

අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “අවදානයෙන් සිටින්න” යනුවෙන් දැනුම්දී ඇත.

එමෙන්ම බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා “විමසිලිමත්ව සිටින්න” යනුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

චීනයේ ආධාර යටතේ නිවාස 1996ක්

Published

on

By

අඩු අදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,996ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ එම නිවාස 1,996ය පැකේජ 03ක් යටතේ ස්ථාන තුනකදී ක්‍රියාත්ම කරන බවයි. 

එම පැකේජ තුන මෙසේය. 

  1. පැකේජ 01 – මොරටුවේ නිවාස ඒකක 575ක් සහ කොට්ටාවේ නිවාස ඒකක 108ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්‍රදානය කිරීම.
  2. පැකේජ 02 – දෙමටගොඩ නිවාස ඒකක 586ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්‍රදානය කිරීම.
  3. පැකේජ 03 – පෑලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanxi Construction Investment Group Co. Ltd. වෙත ප්‍රදානය කිරීම.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය විසින් නම් කර ඇති ලංසුකරුවන් 08 දෙනෙකු වෙතින් ලංසු කැඳවා තිබේ. 

එම ලංසු ඇගයීමෙන් පසුව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

පුවත්

අගමැතිනිය හා ICC නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

Published

on

By

ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවදානය යොමුකළ අතර, ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

මෙම රැස්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් මහතා (Mr. Andrew Ephgrave), ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ විජේබණ්ඩාර මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඉලේපෙරුම මහත්මිය සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහභාගී විය.

(අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved