පුවත්

ජාතික ජන බලවේගයේ පොසොන් පණිවිඩය

Published

on

අද (21)ට යෙදෙන පොසොන් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ද පොසොන් දින පණිවිඩයක් එක්කර තිබේ.

“මිහිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම පොසොන් පොහෝ දිනයේ සිදු වූ වැදගත්ම ආගමික සංසිද්ධිය වුවද එය හුදු ආගමක සම්ප්‍රාප්තිය සලකුණු කිරීමක් පමණක් නොව ලාංකේය ශිෂ්ටාචාරයේ ගමන්මඟ තීරණාත්මකව වෙනස් කළ සිදුවීමක්ද සටහන් කරයි. හඳුන්වා දෙනු ලැබීමෙන් පසු ජනතාව විසින් බුදු දහම විශාල වශයෙන් වැළඳගත් අතර රටේ සමාජ, ආර්ථික හා දේශපාලන පැවැත්මටත් ජන ජීවිතයටත් ඉන් සිදු වූ බලපෑම අතිමහත්ය. විශේෂයෙන් ශ්‍රී ලාංකේය සමාජයේ හර පද්ධතියද එය මත රඳා පැවතින ජීවන රටාවද හැඩගැස්වීමෙහිලා බුදු දහම විශාල ලෙස බලපා තිබේ.

සාධනීය සමාජ හර පද්ධති රැක ගනිමින්ද සාධනීය ප්‍රවණතා එකතු කර ගනිමින්ද පෙරට යා යුතු ශ්‍රී ලාංකේය සමාජයට බුදු දහමේ සැබෑ හරයන් වෙත සමීප වීම සඳහා පොසොන් උත්සවය අගනා අවස්ථාවක් නිර්මාණය කරයි.
විවිධ ජාතිකත්වයන් අතර සහ ආගමික භක්තිකයින් අතර එදිරිවාදීකම් අවුළවා සමාජ දේහය ඉරා දමන්නට පටු වුවමනාකම් ඇති හා බලලෝභී පිරිස් විටින් විට උත්සාහ ගනු ලැබූවද අවිහිංසාව සහ සමානාත්මතාව මත පදනම් වන බුදු දහමෙන් පෝෂණය වූ සමාජය එවැනි දේට ඉඩ අවුරාලීම අතිශය වැදගත්ය.  

ශ්‍රී ලාංකේය සමාජය නැවුම් වෙනසක් කරා ගමන් ඇරඹීමට මුල් වූ පොසොන් පොහොය, නව ගමනකට සූදානමින් සිටින ලාංකේය සමාජයට ලබා දෙන්නේ හරවත් පණිවිඩයකි. නව පුනරුදයකට රට ඔසවා තබන ඓතිහාසික වෙනස වෙනුවෙන් අදිටනින් පෙළගැසීමට පොසොන් පොහොය නිමිත්තක් කර ගන්නා මෙන් සමස්ත ලාංකේය බෞද්ධ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.”

Trending

Exit mobile version