දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වනදා තෙක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙන පෙත්සම් වලින් ජාතික ආර්ථිකයට අගතිදායක බලපෑමක් සිදුවන හෙයින් එම පෙත්සම් මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද අභියාචනාදීකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම ඉල්ලීම සිදු කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීස් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වලට අදාළව නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝග වලින් ජාතික ආර්ථිකයට බලපෑමක් සිදුවන බව පෙන්වා දුන්නේය.
මෙම පෙත්සමට අදාළව තවත් සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් අතිරේක අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීමේදී පෙත්සම්කරුවන් අධිකරණයෙන් අනුමැතියක් ලබාගෙන නොමැති බවත් චෝදනා කළේය.
එය සම්පූර්ණයෙන්ම අභියාචනාධිකරණ රීතීන්ට පටහැණි බවත් ඒ අනුව අදාල පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඒවා මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ ලෙසත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම් වල තවත් වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා පෞද්ගලික මට්ටමින් නම් කර ඇති බවත් ඒ අනුව අදාල පෙත්සම් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව අදාල පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අර්ධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණු අතර එදින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා කරුණු දැක්වීමට නියමිතය.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලින් පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% ක කොටස් හා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ 51.34% ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි. එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට වග උත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළ බවත් පෙත්සම්කාර සමාගම් චෝදනා කළහ.
අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිලි නොගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බවත් සිය පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.
මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
(අරුණ)
සබැඳි පුවත් :
ලයිකා නඩුවක් දමා ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම නවත්වයි; රනිල් වගඋත්තරකාරයෙක් කරයි