බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා කියයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (03) පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අනවශ්‍ය ලෙස මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙසේ බඩඉරිඟු ගෙන්වන බවද ඔහු පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සත්ත්ව ආහාරවලින් ඇමැතිවරුන් පවා හම්බකරගෙන කෑ යුගයක් තිබුණු බවත් දැන් එය නිමාකර තිබෙන බැවින් ජාවාරම්කාරයන්ට අවශ්‍ය ලෙස වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ නොදෙන බවත්ය.
සත්ත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාණ කර්මාන්තවලට වැඩි මිලට බඩඉරිඟු විකිණීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතු බඩඉරිඟු අලෙවි නොකර ගබඩා කර තබා ගැනීමෙන් මෙලෙස මිල ඉහළ යාමක් සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
‘‘ගොවීන්ට සාධාරණ මිලක් ගෙවලා ගත්ත බඩඉරිඟු මේ අය සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට ලබා නොදී මිල ඉහළ යනතෙක් ළඟ තියා ගත්තා. ඒ අය බලාපොරොත්තු වුණා 120ට, 130ට ගොවීන්ගෙන් ගත්ත බඩඉරිඟු 190ට, 200ට ආහාර නිෂ්පාදනය කරන අයට විකුණන්න. ඒ ගාණට බඩඉරිඟු ආහාර නිෂ්පාදකයන් විසින් ගත්තොත් බිත්තරයක් දෙන්න වෙන්නේ රුපියල් 200ක් වගේ මිලකට. මස් කිලෝවක මිලත් අති විශාල ලෙස මිල ඉහළ යනවා. මේ නිසා තමයි අපි තීරණය කරන්නේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පිටරටින් ගේන්න.
සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන අයත් දැන් මේ ව්‍යාපාරිකයන්ගෙන් බඩඉරිඟු මිලට ගන්න කැමැති නැහැ. ඇත්තටම දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ තමන් මිලට ගත් බඩඉරිඟු වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් නොවිකුණා හිටපු පිරිසටයි. රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවේදී මේ ගැන සාකච්ඡා කළා. බඩඉරිඟු මිල විශාල ලෙස අඩු නොවන ආකාරයට ආනයනික බඩඉරිඟු සඳහා බද්දක් පනවන්න කියලා යෝජනාවක් ආවා. මේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යපාරිකයන් කියන තරම් ශුද්ධවන්තයන් නොවෙයි. උපරිම ලාභ කුට්ටියක් තමන්ට ලබා ගන්න ඒ අය නොයෙක් දේවල් කරනවා. අපි ඒකට දොස් කියන්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්න තමයි. නමුත්, බඩඉරිඟු මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා අපට වගකීමක් තිබෙනවා.’’