සිය දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් ගෙඩියක් කැඩීමට ගිය සිවුදරු මවක් ගසෙන් වැටී මරුමුවට පත්වීමේ පුවතක් ගම්පොළ නාරංවිට ප්රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නැමති කාන්තාවකි.
ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකු ම පාසල් යන වයසේ පසුවෙති.
ඇගේ සැමියා පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය විය.
සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයාගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්වයක මොවුන් සිට ඇත.
බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම මෙම මව සිදුකර ඇති අතර පසුගිය 10 වැනිදා ඇය ඒ අනුව දහවල් ආහාර වේල සකසා ගැනීමට මෙසේ කොස් ගසට නැග තිබේ.
ඇය මෙසේ මියගොස් ඇත්තේ දින 5ක පමණ කාලයක් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය.