පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ජූලි 20දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති “දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලය” කැඳවා තිබිණි.
නීතියෙන් බලය ලැබී ඇති පරිදි පළාත් පාලන ආයතනවලට මහජන උපයෝගීතා සේවා පවත්වාගෙන යාම සදහා සහනදායි පොළියකට මූල්‍ය පහසුකම් සැපයීම අරමුණුකරගනිමින් 1916 අංක 22 දරන ආඥා පනත මගින් මෙම ආයතනය ස්ථාපිත කර ඇත. අනතුරුව එම පනත අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්ව ඇති අතර 1993 අංක 24 දරන පනත අනුව දේශීය ණය සහ සංවර්ධන අරමුදල ලෙස නම් කර ඇත.
මෙහිදී ආයතනයේ 2020 සහ 2021 මූල්‍ය වර්ෂ සදහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු ඔස්සේ විමර්ශනය කිරීම සිදු විය.
පනත සශෝධනය කිරීමේ අවශ්‍යතාව
මෙය බැංකුවක් හා සමාන මූල්‍ය ආයතනයක් බැවින් කාලෝචිත කරුණු පිළිබද සැලිකිල්ලක් දක්වමින් පනත සංශෝධන කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී. පනතට අනුව අමාත්‍යාංශ ලේකම්වරයාම අරමුදලේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම උචිත නොවන බැවින් එම සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් සංශෝධන සිදු කිරීමේ වැදගත්කම විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2018 ‘ආසියානු පදනම’ මගින් ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වාර්තාවක් ලබා දුන් බවත් ඒ අනුව කටයුතු කළේනම් විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමේ හැකීයාව තිබූ බවත් සාකච්ඡා විය.
ගරු අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරයා ලෙස පනත සශෝධනය කිරීම සදහා සාකච්ඡාවක්ද පවත්වා ඇති පසුබිමක මේ සදහා කඩිනමින් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වන ලදී.
අධ්‍යක්ෂ ජනරාල් සහ අභ්‍යන්තර විගණක තනතුරු පූර්ණකාලීන ස්ථිර තනතුරු බවට පත් කිරීමේ කිරීමේ අවශ්‍යතාව
වසර ගණනාවක සිට අධ්‍යක්ෂ ජනරාල් තනතුර වැඩබලන තනතුරක් ලෙස පැවතීම පිළිබදව අවධානයට ලක්විය. එසේම ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම පූර්ණ කාලීන ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු පත්කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දැනුම් දෙන ලෙස නියෝග කරන ලදී.
ණය ලබාදීම, ව්‍යාපෘති ඇගයීම සහ ණය අයකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම
2023 වසරේදී රු. මිලියන 249 ක් වටිනා ව්‍යාපෘති 9ක් අරමුදලට ලැබී ඇතත් මේ වන තෙක් ඒ පිළිබදව අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ව සළකාබලා නැති බවත් අනාවරණය විය.
මේ අනුව ණය දීමේ හා අයකරගැනීමේ නිර්ණායක, ණය අය කර ගැනීමේ හැකියාවන්, ණය භාවිතා කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් විධිමත් ක්‍රමවේදයක් සහ මාර්ගෝපදේශ මාලාවක් සකසන ලෙස නිර්දේශ කරන ලදී. එම විධිමත් ක්‍රමවේදයට අනුව ණය දීමේ කමිටුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
එක් එක් පළාත්වලට ණය බෙදීයාමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ අවශ්‍යතාව
2021 වසරේ ණය ලබාදී ඇති රු.මිලියන 847.7 කින් රු.මිලියන 691ක්ම වයඹ පළාතට ලබා දී ඇති බවත් කෝප් සභාපතිවරයා අනාවරණය කළේය. මෙම ව්‍යාපෘතිවලට ණය ලබා දීමේදී එක් එක් පළාත්වලට බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙස කමිටුව නිර්දේශ කරන ලදී.
අභ්‍යන්තර විගණනය විධිමත් කිරීම
අභ්‍යන්තර විගණනය නිසි පරිදි සිදු කිරීම සදහා ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු නොමැති වීමෙන් පසුගිය වසර වල විගණනය නිසි පරිදි සිදු නොවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ස්ථිර අභ්‍යන්තර විගණන නිලධාරියෙකු බදවා ගැනීමට කටයුතු කිරීමටත් 2011,2012 යන වසර සදහා විගණන වාර්තා මාසයක කාලයක් තුළ විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙසත් නිර්දේශ කරන ලදී. එසේම ජාතික විගණන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දෙන ලදී.
2019- 2023 වර්ෂ 5ක කාලය සදහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුනද ඊට අනුමතිය ලබා ගෙන නොතිබීම ගැටලුවක් බව හදුනා ගන්නා ලදී. ඒ අනුව 2023-2028 දක්වා සංයුක්ත සැලැස්මක් අනුමත කර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.
1995 වසරේදී බහුබෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාව වෙත ලබා දුන් රු මිලියන 12ක ණය මුදලක්, මහනුවර නගර සභාවට ලබා දුන් රු 60,922,475 ක ණය මුදලඅයකර නොගැනීම ඇතුළු කරුණු පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව අදාළ නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.
පළාත් පාලන ආයතන හරහා එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා මූල්‍ය ආධාර සපයන එකම ආයතනය වන අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම විය යුතු බව කෝප් කමිටු සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී. එසේම තවත් සය මසකින් මෙම ආයතනය නැවත කැඳවීමටත් තීරණය විය.