ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන්හි ජාත්‍යන්තර සහ දේශීය දරන්නන්ගේ නියෝජිතයන් සමඟ එළඹි ගිවිසුමෙහි පවතින කොන්දේසි, ණය සඳහා විසඳුම් සෙවීමේ සංසන්දනාත්මක මූලධර්මයට අනුකූල බව නිල ණය හිමි කමිටුව විසින් විධිමත් ලෙස තහවුරු කර ඇති බවය.
එහිදී, 2024 වසරේ ජූනි මාසයේ දී නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ එකඟ වූ නියමයන්ට අනුකූලව නිල ණය හිමිකම් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුමේ නියමයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුකූල බව ඔවුන් විසින් තහවුරු කර බවද මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, නව ජනාධිපතිවරයා යටතේ පත්වූ නව රජය සැප්තැම්බර් මස 19 වන දින ප්‍රකාශයට පත් කළ පරිදි වැඩසටහනට අදාළ ණය ඉලක්ක සහ මූලික වශයෙන් එළැඹි එකඟතාවයේ කොන්දේසි පිළිගන්නා බවටත් එම කොන්දේසිවලට අනුකූලව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.
මෙම ක්‍රියාවලිය පුරාවට සද්භාවයෙන් කටයුතු කිරීම සහ අඛණ්ඩ සහයෝගය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සියලුම ණය හිමියන්ට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමි කමිටුව වෙත ස්තුතිය පුද කරන බවද මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.