ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිට වන අවස්ථාවේදී සමූහ වශයෙන් එක් වී ප්‍රසිද්ධ ස්ථානවල එක්රැස් වී ඡන්ද ප්‍රතිඵල ඇසීම හෝ නැරඹීම හෝ රතිඤ්ඤා දැල්වීම නීතියෙන් තහනම් බවත් එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හෙතෙම තවදුරටත් පැවැසුවේ, විශාල තිර යොදා ගනිමින් මත්පැන් සාද පවත්වමින් එවැනි කටයුතු සංවිධානය කරන බවට වාර්තා වන අතර එවැනි ක්‍රියා නැවැත්වීමට කටයුතු කරන ලෙසය.
හැකි තරම් නිවාසවලට වී ඡන්ද ප්‍රතිඵල නැරැඹීමට හෝ සවන් දීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි.
මෙම මැතිවරණයේ නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාර්ය සාර්ථකව අවසන් කිරීමට අවසන් මොහොතේ ද සහාය ලබාදෙන ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මැතිවරණවලට අදාළ නීතිරීතිවලට අනුව කටයුතු කිරීම කාගේත් වගකීමක් බවත් යම් හෙයකින් එම නීති කඩකරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවත් සඳහන් කලේය.