Connect with us

පුවත්

පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමතිය

Published

on

පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සදහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (29) අනාවරණය වී තිබේ

මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සදහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් පැවති “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී මෙම කරුණු අනාවරණය විය.

විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවධානම පිළිබදවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු බිලියන 650කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ඉන් රු. බිලියන 35කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රු. බිලියන 75 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රු. බිලියන 50ක ණය මුදලින් මෙම සැපයුම්කරුවන්ට ණයවලින් යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු පැවසූහ.

‍සූර්ය බලශක්ති ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නියෝජිතයෝද, විදුලිබල ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් පෞද්ගලික ආයතනවල නියෝජිතයෝද සිය ගැටලු සහ විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබද කාරක සභාව දැනුවත් කළහ.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය – ඉන්දික අනුරුද්ධ මහතාද එක්ව සිටියේය. විදුලිබල ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමග පවතින ගැටලු පිළිබදව සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුවල විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේශන්, එම්.රාමේශ්වරන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading

පුවත්

කටඋත්තර ගැනීමට පෙර දැනුම්දිය යුතුයි – නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Published

on

By

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවය.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

එසේ තොරතුරු ලබානොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවය.

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයා, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Continue Reading

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved