පිළිකා රෝගීන්ගේ සංකූලතා අවම කිරීමට අඩු මාත්‍රාවක් යටතේ ලබාදෙන ග්ලුටතියොන් (Glutathione) එන්නත,මෙරට ඇතැම් පුද්ගලයින් සිය සම සුදු කිරීම සඳහා භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා සඳහන් කලේ එම එන්නත යොදාගෙන ඇතැම් පෞද්ගලික රෝහල්වල රූපලාවන්‍ය කටයුතු සිදු කරන අතර, සම සුදු කර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් ලක්ෂයක් පමණ අයකරන බවට වාර්තා වී ඇති බවයි.
ඇතැම් රූපලාවන්‍යාගාරවල මෙන්ම පුද්ගලික නිවාස සංකීර්ණයන් තුළ ද මෙම එන්නත සම සුදු කිරීම සඳහා පැමිණෙන විවිධ වයස් සීමාවල පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයේම ගනුදෙනුකරුවන්ට ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
“සාමාන්‍යයෙන් සම සුදු වීමට සහ පැහැපත් වීමට ග්ලුටතියොන් ටැබ්ලට් සහ ක්‍රීම් වර්ග භාවිතා කිරීමට නීතියෙන් අවසර ඇතත් එන්නත භාවිතා කිරීමට අවසර දී නැහැ. එම එන්නත භාවිතා කරන පුද්ගලයින්ට අතුරු ආබාධ රැසක් ඇති වෙනවා. විශේෂයෙන්ම වකුගඩු ආබාධ, රුධිර නාළ ආශ්‍රිත සංකූලතා, තෛරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇතුළු විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩියි”.
“මෙම එන්නත් භාවිතා කරන පෞද්ගලික රෝහල්, රූපලාවන්‍යාගාර පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.’’