ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැති ශ්‍රීතා තවිසින් මහතා ලබන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
තායිලන්ත අගමැති ශ්‍රීතා තවිසින් මහතාට මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුව ඒ මහතා මෙසේ පැමිණීමට නියමිත බවද පැවසේ.
දෙරට අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡා වටය අවසන් වූ වහාම අගමැතිවරයා මෙරටට පැමිණෙන බව තායිලන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
මේ නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වන නව වැනි සාකච්ඡා වටය පසුගියදා කොළඹ දී නිමාවට පත් වූ අතර, තායිලන්තය නියෝජනය කරමින් උපදේශකවරයකු ලෙස තායිලන්තයේ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමොන් සුප්තවීතම් මහතා සහභාගි වී තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසර 4කට පසු මේ සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී ආරම්භ කරන ලද අතර, තායිලන්ත අගමැතිවරයා මෙරටට පැමිණීමට පෙර මේ දක්වා පැවති සාකච්ඡාවල ප්‍රතිඵල තායිලන්ත ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුවද නාවික ගමනාගමනය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවද ඊට අමතරව ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් බවද තායිලන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇතැයි ද පැවසේ.
මේ අතර තායිලන්තයේ කර්මාන්ත විශාල ප්‍රමාණයකට මෙම යෝජිත වෙළෙඳ ගිවිසුම ප්‍රයෝජනවත් වන බවද වාහන, විලාසිතා, මැණික්, ලෝහ, විදුලි උපකරණ, යන්ත්‍ර, රබර් අත්වැසුම්, සුරතල් මත්ස්‍ය ආහාර ඒ අතර වන බවද තායිලන්ත වාණිජ අමාත්‍යාංශ වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චූටිමා ඉම්සවස්ඩිකුල් මහත්මිය ප්‍රකාශ කරයි.
ඊට අමතරව මූල්‍ය, රක්ෂණ, සංචාරක, පර්යේෂණ ආදී සේවා අංශයට ද ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රයෝජනවත් වන බව ඒ මහත්මිය පෙන්වා දෙයි.
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කළ වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 320.37 දක්වා ඉහළ ගොස් තිබේ.