කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාමේ රාජ්‍ය ව්‍යාපෘතියට තෝරාගෙන ඇති සිංගප්පූරු සමාගමක් වන Groepo Pte. Ltd සමාගම හා එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd සමාගම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතනවල අනුමැතිය ලබාගෙන නොමැති බව පරිසරවේදී හු කියති.
විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක අදාළ ව්‍යාපෘතිය අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබිණි.
අදාළ සමාගම බේරේ වැව සුද්ද කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමක් යොදා ගැනීමට නියමිත අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය මෙන්ම අධීක්ෂණය ද අවශ්‍ය බව පරිසරවේදී හු පෙන්වා දෙති.
බේරේ වැව පිරිසිදු කිරීමට අදාළ සමාගම විසින් අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමට නියමිත බවද පැවසේ.
අදාල යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇත.
මේ අතර, මෙම ව්‍යාපෘතියට අදාළව බේරේ වැවට එකතු වන මලාපවහන ජලය හා අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු කරන ලෙස ඊට අදාළ රාජ්‍ය ආයතනවලට කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබේ.
මේ අතර, මෙහි මෙහෙයුම් කටයුතු අධීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල් සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් කමිටුවක්ද නම් කර ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.
සබැඳි පුවත්
බේරේ වැවේ ගඳ යවන්න සිංගප්පූරු සමාගමකට බාරදෙයි