පුවත්

භෝග වර්ග 6කින් රට ස්වයංපෝෂිතයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Published

on

2022 යල කන්නයේ සිට ගොවි ජනතාවට නැවතත් රසායනික පොහොර  ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වන විට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර පසුගිය මහ කන්නය හා මෙම යල කන්නයේ අස්වැන්න ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකිව ඇත.

වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වන අතර මෙම වසර තුළ මුං ඇට මෙට්‍රික් ටොන් 13,439ක අස්වැන්නක් නිපදවා ඇත.

එමෙන්ම කව්පි වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර මෙම වසර තුළ මෙරට කව්පි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13,740ක් වේ.

මෙරට වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වුවද මේ වසර තුළ උඳු අස්වැන්න මෙට්‍රික් ටොන් 17,866ක් ලැබී ඇති බව සඳහන්ය.

වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 35,000ක් වන අතර මෙම වසර තුළ මේ වනවිට රටකජු අස්වැන්න මෙට්‍රික් ටොන් 36,498ක් ලැබී තිබේ.

මෙරට වාර්ෂික කුරක්කන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 10,000ක් වන අතර මෙම වසර තුළ එහි  අස්වැන්න මෙට්‍රික් ටොන් 6408ක් බව සඳහන්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ රට මේ වන විට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු හා රටකජුවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මෙම වසර තුළ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බවය.

Trending

Exit mobile version