හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ (backup vehicle) තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලිපියක් යොමුකරමින් හිටපු ජනපතිවරයාගෙන් මේ ඉල්ලීම කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ නිවසේ රැඳී සිටින හෙයින් කොළඹට පැමිණි පසු එම වාහන බාර දීමට කටයුතු කරන බව ඔහු දන්වා ඇති බවද පැවසේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ නිකුත් වීමටත් පෙර මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් ද මේවන විට විවේචන එල්ලවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගමන් ගන්නා වාහන කිහිපයක් නැවත භාර දෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.
මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත් ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි කටයුතු කරන්නේ බුද්ධි අංශ වලින් අහලා දැයි තමා ප්‍රශ්න කරන බවද හෙතෙම සඳහන් කළේය.