පුවත්

මැතිවරණය නොතියන කුමන්ත්‍රණය පාඨලී හෙළිකරයි!

Published

on

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පානදුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. මේ සඳහා නව ලංකා නිදහස් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාද සම්බන්ධ විය.

“පාර්ලිමේන්තුව මගින් මේ මැතිවරණය කල් දැමීමට කිසිම ඉඩකඩක් දැන් නැහැ. ඒ සඳහා ගෙනා අණපනත් ආදියෙන් කිසිම බාධාවක් නැහැ. අධිකරණය පැත්තෙන් සැකමුසු භාවයක් තිබුණා නම් පසුගිය 10 වනදා අධිකරණය ඉදිරියේ මැතිවරණ කොමිසම කළ ප්‍රකාශයෙන් එය නැතිවී ගියා.

දැන් කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කරන්න. මාර්තු 09 පෙර මැතිවරණ කොමිසම පැත්තෙන් සිදුවිය යුතු විශාල රාජකාරී ප්‍රමාණයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ තැපැල් ඡන්දය පැවැත්වීම. එය පෙබරවාරි 22,23,24 දින යොදලා තියෙනවා. ඒ සඳහා ඡන්ද කාඩ්පත් අපේ නිවෙස්වලට ලැබෙන්න ඕනේ 19 වනදා.

19 වෙනිදට ඡන්ද කාඩ්පත් ලැබෙන්න නම් දැන් ඒවා මුද්‍රණය කරලා ඒවා බෙදාහැරීමේ ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ මැතිවරණය 09 වනදා එකපාරට අහසින් වැටුණා වගේ කරන්න බැහැ. ඡන්ද පත්‍රික මුද්‍රණය, බෙදාහැරීම, අදාළ ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ආරක්ෂක සේවාවන් සූදානම් කිරීම, තැපැල් ඡන්දය පැවැත්වීම යනාදිය කලයුතුයි.

මැතිවරණ කොමිසම ඒ අභියෝගය භාර අරගෙන කරගෙන යනවා. ඉතින් මැතිවරණ කොමිසමට මේ සඳහා මුදල් සපයන්නේ නැහැ කියලා රාවයක් දැන් පවත්වගෙන යනවා. මුදල් නැහැ කියන එක කිසිසේත්ම උත්තරයක් නෙමෙයි, මෑත කාලයේ ආණ්ඩුව පවත්වපු උත්සව දිහා බලනකොට. ආණ්ඩුවේ ආදායම් ගැන බලනකොට දවසක ආණ්ඩුවේ ආදායම තමයි මේ මැතිවරණය පවත්වන්න යන්නේ.

මෑතදී විශාල උද්ඝෝෂණයක් ඇති වුණා වෘත්තීයවේදීන්, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, කළමනාකාර සේවාවලින් තමන්ට අතිරේක බදු (PAYE tax) පනවලා තියෙනවා කියලා. ඒ බද්දෙන් මේ වගේ මැතිවරණ 10 ක් පවත්වන්න පුළුවන්. නීතිය දන්න නිලධාරීන් හැටියට, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා මතක තබා ගත යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහතාට , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමාට, පොලිස්පතිතුමාට, බුද්ධි අංශ නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දීපු නඩු තීන්දු.

ඒ නඩු තීන්දුව මඟින් ඉතා නිශ්චිතව අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී තිබෙන නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටිනවා කියන දේ පෙන්වා දුන්නා. නීතිගරුක නිලධාරියෙක් හැටියට එතුමා ඒ කාර්යය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ මැතිවරණයෙන් 10% වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද ලැබෙන්නේ නෑ.

ලැබීම ලැබීම වැළැක්වීමත් අපේ ජාතික වගකීමක්. අමාරුවෙන් අනුන්ගේ කරේ එල්ලිලා පාර්ලිමේන්තුවට එන මහින්ද රාජපක්ෂ මහත්මයා, චමල් මහත්තයා ඇතුළු ඒ රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය මේ 09 වෙනිදාට අවසානයක් කිරීම අප සියලු දෙනාගේම වගකීම. නව දේශපාලනය ගොඩනගන්න අලුත් කට්ටියත් ඕනේ. පළපුරුදු පිරිසකුත් ඕනේ. පළාත් පාලන ආයතන ගෙනියන්න වෙන්නේ අපේ ස්වශක්තියෙන්.”

Trending

Exit mobile version