අදටත් ඉන්දියාවේ රැකියා නැති වෛද්‍යවරු ලක්ෂ 5ක් සිටින බවත්, එට්කා ගිවිසුම අත්සන් කළොත් මේ සියලුදෙනාට සැනින් ලංකාවට ඇවිත් රැකියා කරන්න අවස්ථාව ලැබෙන බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ගුරු මැදුරේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
මුදලිගේ එහිදී මෙසේද කීය.
“ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සහ එහිදී එළැඹ ඇති ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකාව ඉන්දියානු කොළනියක් බවට පත්වීමේ අවදානමක් ඇති කරලා.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වුණා නම් ලංකාව ඉන්දියානු කොළනියක් බවට පත්වීම වළක්වන්න බැහැ. ඒ වැඩපිළිවෙළට එරෙහිව රටක් විදිහට දක්වපු විරෝධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේ. ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන් සදාචාරාත්මක වගකීමක් තියනවා රනිල්ගේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරන්න. නමුත් අපිට පේන්නෙ ආණ්ඩුව රනිල්ගේ වැඩපිළිවෙළ පරාජය කරනව වෙනුවට ඒ වැඩපිළිවෙළම ඉදිරියට කරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නෙ” යැයිද හෙතෙම කීවේය.
ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී එරට අගමැති මෝදිගේ කතාවේදී පැහැදිලි වූයේ අනාගතයේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමේ සැලසුමක් තිබු බවද ඔහු සදහන් කළේය.
“රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව එක්ක අපි දිගින් දිගටම හැප්පුනේ ඉන්දියාව සමග කරන දේශපාලන ගණුදෙනුවල තිබුණු රටට අහිතකර ප්‍රතිවිපාක කලින් අපි දැක්ක නිසා. ජාතික ජන බලවේග ආණ්ඩුව පවා තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ඇතුලේ රනිල්ගේ මේ දේශපාලන ප්‍රතිපත්ති තදින් විවේචනය කළා. මෝදි අගමැති එක්ක ආණ්ඩුව සූදානම් වෙනවනම් එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න අපි කියනවා ඒක ඉතාම භයානකයි. එට්කා ගිවිසුම යෝජනා කරනවා භාණ්ඩ වෙළෙඳාම ලිහිල් කරන්න. සේවා වෙළෙඳාම ලිහිල් කරන්න. අපි දන්නවා සේවා වෙළෙඳාම සම්බන්ධයෙන් දැනට පවතින නීති එක්ක ලංකාවට විදෙස් ශ්‍රමිකයන්ට ඕන ඕන විදිහට ඇවිත් රැකියා කරන්න පුළුවන් කමක් නෑ. දැන් ඉන්දියාව කියන්නෙ මෙන්න මේ නීති ලිහිල් කරන්න කියලා. අදටත් ඉන්දියාවෙ වෛද්‍යවරු ලක්ෂ 5ක් ඉන්නවා රස්සා නැතුව. එට්කා ගිවිසුම අත්සන් කරපු සැනින් මේ සියලු දෙනාට පුළුවන්කම ලැබෙනවා ලංකාවට ඇවිත් රැකියා කරන්න. අපිට ඉන්දියානු කම්කරුවා එක්ක ප්‍රශ්නයක් නෑ දුප්පත් ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කියන්නෙ දශක ගණනාවක් අරගල කරල දිනාගනිපු අයිතිවාසිකම්. වෙන රටකට ඒ අයිතිවාසිකම් පාවාදෙන්න පුළුවන් කමක් නෑ.”