පුවත්

ලංකාව, චීනයේ සිනොපෙක් හා ගිවිසුම්ගත වෙයි

Published

on

මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ. 

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අළෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් (Chen Chengmim) යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹිණි.

කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. 

මේ සම්බන්ධයෙන් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීමට සහ නව ස්ථාන 50ක් ඉදිකිරීමට සිනොපෙක් සමාගම අද ශ්‍රී ලංකාව හා ගිවිසුම්ගත වූ බවත් මෙය චීන – ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සහ දිවයිනේ ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුම මෙන්ම එහි බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීමේ ඓතිහාසික පියවරක් වන බවත්ය.

Trending

Exit mobile version